June, 5, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 223.3ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. මේ අතර මහ බැංකුව විසින් මැයි මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළන් ඩොලර් මිලියන 12ක් මිල දී ගෙන ඇති අතර ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය මාසය තුළ මහ බැංකුව අලෙවි කර ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 211.3 ක් වනු ඇත. මෙය 2024 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කැලැන්ඩර් මාසයක් තුළ සිදුකර ඇති විශාලම ඩොලර් අලෙවිය වේ.
මෙහි ඇති විශේෂත්වය වනුයේ පසුගිය 2025 සමස්ත වර්ෂය පුරාවටම මහ බැංකුව අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 205.3ක් පමණක් වීම නිසාවෙනි. තවද 2024 මුළු අවුරුද්දටම මහ බැංකුව අලෙවි කර තිබුණේ ඩොලර් මිලියන 183ක් පමණි. ඒ අනුව 2024 හා 2025 එක් එක් වර්ෂවල අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය 2026 මැයි මාසය තුළ දී අලෙවි කිරීමට මහ බැංකුවට සිදුව ඇත. 2025 වසර තුළ දී ඩොලර් මිලියන 2,812ක් සහ 2024 වර්ෂය තුළ දී ඩොලර් මිලියන 3,028.78ක් වශයෙන් මහ බැංකුව ඩොලර් මිල දී ගැනීම් සිදුකර තිබුණි.
තවද 2026 ජනවාරි සහ පෙබරවාරි මාසවල දී මහ බැංකුව විශාල වශයෙන් වෙළෙඳපොළ තුළින් ඩොලර් මිල දී ගැනීමට කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසරේ මුල් මාස 05 අවසන් වන විට දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 886.10ක් මිල දී ගැනීමට මහ බැංකුවට හැකිවිය. එහිදී 2026 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 9.50ක් පමණක් මහ බැංකුව විසින් අලෙවි කර තිබූ අතර පෙබරවාරි මාසයේ දී කිසිදු ඩොලර් විකිණීමක් සිදුකර නොතිබීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මැදපෙරදිග යුධමය අර්බුදයේ බලපෑම 2026 පෙබරවාරි අග සිට එල්ල වීමත් සමඟම දේශීය රුපියල මත බලපෑ විනිමය පීඩනය පාලනය කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් අලෙවි කිරීමට මහ බැංකුවට සිදුවිය. සමස්තයක් ලෙස 2026 මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 886.10ක් මිල දී ගෙන ඇති අතර විකුණා ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 400.20 කි. ඒ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 485.90ක් මහ බැංකුව 2026 මුල් මාස 05 තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2026 ජූනි 05 වන විට ශ්‍රී ලංකා රුපියල, වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ 7.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
2026 වර්ෂයේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වූ ආකාරය පහත සටහනින් දැක්වේ.
