මාස 03ක සීනි ආනයන වියදම ඩොලර් මිලියන 137යි. 88% ක දැවැන්ත වැඩිවීමක්

    May, 19, 2021

    2021 ජනවාරි - මාර්තු මාස 03 තුළ දී සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් දරා ඇති සම්පූර්ණ වියදම ඒක්සත් ජනපද ඩොලර් මිලියන 137.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 මාර්තු මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව පෙන්වා දේ. මෙය 2020 වසරේ මුල් මාස 03 තුළ දී ඒ සඳහා දරන ලද වියදම වූ ඩොලර් මිලියන 73.1 හා සැසඳීමේ දී 88% ක දැවැන්ත ඉහළ යාමක් වේ.

    මෙහිදී 2021 මාර්තු මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම ඩොලර් මිලියන 50.8ක් වන අතර ඒය 2020 මාර්තු මාසයේ ඩොලර් මිලියන 27.2 ක් වන ආනයන වියදමට වඩා 86.4% ක ඉහළ යාමකි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දෙන්නේ 2020 වසරේ දී දේශීය සීනි නිෂ්පාදනය රටේ සමස්ත සීනි ඉල්ලූමෙන් සියයට 9ක් පමණක් සපුරාලීමට ප‍්‍රමාණවත් වී ඇති බවයි. 2020 ඔක්තෝම්බර් මාසයේ දී සීනි ආනයනය සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසුව, 2020 වසරේ සීනි ආනයනය මෙටි‍්‍රක් ටොන් 682,553ක් දක්වා සියයට 22.7කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දේ.