මැදපෙරදිග යළි ඇවිලෙද්දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

    June, 8, 2026

    නව සතියක ආරම්භයේ පළමු ගනුදෙනු දිනය වූ අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන පහළ යාමක් දක්නට ලැබුණි.

    එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 340.85කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 55.58ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,403.28ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,968.42ක් ලෙසත් වාර්තා වුණි.

    අද (08) දින රු. බිලියන 2.61ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    මැදපෙරදිග ගැටුම් අද යළි නව වටයකින් ආරම්භ වීමත් සමගම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස දිනය තුළ ඉහළ යාමත්, පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ තීරණය හමුවේ එහි ඵලවිපාක ක්‍රමයෙන් කොටස් වෙළෙඳපොළ වෙත විතැන් වීමත් යන කරුණු හමුවේ මෙලෙස කොටස් වෙළෙඳපොළ පහළ යාමක් බලාපොරොත්තු වීමට සිදුවන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.