July, 31, 2026
අද (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පහළ යාමක් වාර්තා වුවද, දිනය තුළ පසුගිය දින කිහිපයට සාපේක්ෂව වාර්තාගත ඉහළ පිරිවැටුමක් සටහන් වීම විශේෂ සිදුවීමක් වේ.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.50ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 6.05කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,129.21ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,939.98ක් ලෙසත් වාර්තා වුණි.
දිනයේ සුවිශේෂී සිදුවීම ලෙසින් රු. බිලියන 4.34ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම දැක්විය හැකිය. යුනයිටඩ් මෝටර්ස් සමාගමේ කොටස් මිලියන 38ක් එකක් රු. 27 බැගින් ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වීම, ඉහළ දෛනික පිරිවැටුමක් වාර්තා වීම සඳහා ප්රධාන වශයෙන් දායක වූ අතර රු. බිලියන 1.02ක පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය. මීට අමතරව රු. මිලියන 380ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ද ඇතුළත්ව හේලීස් සමාගමේ රු. බිලියන 1.04ක කොටස් ප්රමාණයක් දිනය තුළ හුවමාරු වී තිබුණු අතර රු. මිලියන 669ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ද ඇතුළත්ව ඩයලොග් ආසියාටා සමාගමේ රු. මිලියන 713ක කොටස් ප්රමාණයක් දිනය තුළ හුවමාරු වී තිබුණි.
Video Story