මීළඟ විශාලම ණය වාරිකය ගෙවීමට ඇති දිනය – 2021 ජූලි 27 ඩොලර් බිලියන 1 ක්

    March, 5, 2021

    අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද, 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති බවත්, ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීම සඳහා රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,817.7 ක් ලෙසින් වාර්තා වන අතර එයින් රු. බිලියන 6,393.7 ක් විදෙස් ණය ලෙස සටහන්ව ඇත.

    මේ අතර විවිධ කාලප්‍රාන්තර යටතේ නිරන්තරයෙන් ණය වාරික ගෙවීම සිදුකෙරෙන බවත්, මීළගට ගෙවීමට ඇති විශාලතම තනි ණයවාරිකය ගෙවීමට ඇති දිනය 2021 ජූලි 27 දිනය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දොපර්තමේන්තුවේ අධිකාරී, ආචාර්ය එම්. ඉසෙඩ්. එම්. ආසිම් මහතා පැවසීය. ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ආසිම් මහතා මේ බව අනාවරණය කළේය.

    “ණය වාරික ගෙවීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මූල්‍ය වර්ෂය පුරාවට විවිධ කාලප්‍රාන්තර යටතේ ණය වාරික ගෙවීම සිදුවෙනවා. මීළඟට විදේශ ණය සම්බන්ධයෙන් විශාලම වාරිකය ගෙවීමට ඇති දිනය ලෙසින් 2021 ජූලි 27 හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් එදිනට කල්පිරෙනවා. එය ඩොලර් බිලියන 1 ක වටිනාකමකින් යුක්තයි.“