මෙරට කර්මාන්ත පවත්වාගෙන යන ජපාන ආයෝජකයින්ට ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන දක්වන සහයෝගය ඉතා ඉහළයි – JCCI-SL හි සභාපති කිෂි ටකාෂි

    June, 9, 2026

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ජපාන ආයෝජකයින්ට මෙරට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබා දෙන සහයෝගය සහ සේවාව ඉහළින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) සභාපති කිෂි ටකාෂි (Mr. Kishi Takashi) මහතා පවසයි.

    ආයෝජක විශ්වාසය ගොඩනැඟෙන්නේ හුදු සංවාදයෙන් පමණක් නොව, මතුවන ගැටලුවලට නියමිත වේලාවට කඩිනම් විසඳුම් ලබා දීමෙන් බවත්, ශ්‍රී ලංකාව තුළ වත්මන් ක්‍රියාවලිය සතුටුදායක මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. එසේම දශක ගණනාවක සිට දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය, ව්‍යාපාර තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් වී ඇති බව ද ටකාෂි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විවිධ රටවල ආයෝජකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව පවත්වනු ලබන නිල සාකච්ඡා මාලාවට සමගාමීව, ජපන් ආයෝජකයින් වෙනුවෙන් මෙවර කාර්තුව සඳහා පැවැත්වුණු විශේෂ සැසිවාරයට එක්වෙමින් ටකාෂි මහතා මෙම අදහස් පළ කළේය.

    මෙම ක්‍රියාකාරී මට්ටමේ සැසිවාර පැවැත්වීම, ශ්‍රී ලංකා රජය සහ දිවයින තුළ ක්‍රියාත්මක වන ජපන් ව්‍යාපාරික ප්‍රජාව අතර අදහස් හුවමාරු කර ගන්නා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරයි. මෙහිදී ආයෝජකයින් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන අතර, මීට පෙර මතු කරන ලද කරුණුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ආයෝජන වාතාවරණය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීම ද සිදු කෙරේ.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ස්ථාවර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික පරිසරය පිළිබඳ කමිටුවේ සිව්වන ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම 2026 ජූනි 2 වන දින කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.

    මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, ජපන් විදේශ වෙළඳ සංවිධානය (JETRO), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) නියෝජිතයින් මෙන්ම මෙරට ක්‍රියාත්මක ජපන් ආයෝජකයින් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    ජපානය මේ වන විට ශ්‍රී ලංකාව සදහා නිල සංවර්ධන ආධාර (ODA) හරහා මූල්‍යනය කරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසකට දායකත්වය සපයයි. එසේම නිෂ්පාදන, සංචාරක, ඖෂධ, ආලේපන සහ සේවා අංශයන් දක්වා විහිදෙන පෞද්ගලික අංශයේ ආයෝජන හරහා, ජපන් ප්‍රාග්ධනය සහ නවීන තාක්ෂණික විශේෂඥතාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට බෙහෙවින් දායක වී ඇත.

    JICA සහ JETRO ආයතන මේ සඳහා අඛණ්ඩව දායක වන අතර, JICA ආයතනය සංවර්ධන සහයෝගීතාව හරහා ද, JETRO ආයතනය වෙළඳ හා ආයෝජන පහසුකම් සැලසීම හරහා ද කටයුතු කරයි. ජපාන තානාපති කාර්යාලය මෙම සබඳතා අන්‍යෝන්‍ය විශ්වාසයකින් යුතුව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික රාමුව සකස් කර ඇත.

    මෙහිදී ආරම්භක අදහස් දැක්වීම සිදු කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා, දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපය තුළ තරඟකාරී ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු අභිලාෂයන් තවදුරටත් අවධාරණය කළේය. සියවසකට වැඩි ජපාන-ශ්‍රී ලංකා ආර්ථික හා සංස්කෘතික සබඳතාවයේ පිළිබඳව  ආචාර්ය ජයවර්ධන පෙන්වා දුන්නේ, ජපන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පවත්වන නිරන්තර හා අවංක සම්බන්ධතාවය හුදු රාජ්‍ය තාන්ත්‍රික ආචාරශීලීත්වයක් නොව, එය උපායමාර්ගික අවශ්‍යතාවයක් බවත් . ආයෝජකයින් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීම, උසස් තත්ත්වයේ විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  පුළුල් අරමුණ සමඟ නොවෙනස්ව බැඳී පවතින බව ඔහු අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හමුවේ නව ආයෝජන අවස්ථා ජනිත කිරීමට අවස්ථාව උදා වී ඇත. ජපන් ව්‍යාපාර සාමාන්‍යයෙන් දිගුකාලීන දැක්මක් සහිතව ක්‍රියා කරයි. ඔවුන් ආයෝජනය කරන්නේ ස්ථාවරත්වය, ගුණාත්මකභාවය සහ නියාමන අනුකූලතාවය (Regulatory Consistency) අපේක්ෂාවෙනි. ඔවුන් මෙම කමිටුව වැනි නිල මාර්ග හරහා අඛණ්ඩව ක්‍රියාත්මක වීම, ව්‍යාපාර පුළුල් කිරීම සහ සම්බන්ධ වීම, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් පෙන්නුම් කරන බවද ආචාර්ය ජයවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියාවට නංවන මෙම සැසිවාරය තුලින් රාජ්‍ය තාන්ත්‍රික විධිමත්භාවය සහ වාණිජ ප්‍රායෝගිකත්වය යා කරන ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය වී ඇත. මෙම සැසිවාර  හුදු ප්‍රතිපත්තිමය සහතික කිරීම් පමණක් නොව, ප්‍රායෝගිකව  තහවුරු කළ හැකි පසු විපරම් ක්‍රියාවලියක් අපේක්ෂා කරන ජපන් ව්‍යාපාරිකයන්ගේ ඉහළ ඇගයීමට ලක්ව ඇත. ගෝලීය ආයෝජකයින් වෙළඳපොළ විභවය මෙන්ම නියාමන පුරෝකථනය කිරීමේ හැකියාව (Predictability) කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරන යුගයක, මෙම කමිටුවේ ව්‍යුහාත්මක මැදිහත්වීම් මඟින් ආයෝජක සබඳතා කෙරෙහි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  දක්වන කැපවීම පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates