රජයට අයත් වාහන ගැන වාර්තාවක්. පන්දහසකට වඩා අබලන්

    August, 24, 2021

    රජයේ ආයතන සතු වාහන පිළිබඳ පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.

    * අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194ක් පවතී.

    * ඒ අතුරින්, වාහන 76,661ක් ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5533ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතී.

    * ධාවනය කළ හැකි වාහන අතුරින් අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන සතුව වාහන 33,931ක් ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 26,395ක් ද, පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 16,335ක් ද පවතී.

    * එසේම, රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8,500කට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා භාවිත කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉහත තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.