• Ada Derana BIZ Sinhala
  • export
  • online session
  • sri lanka

රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක්

November, 1, 2022

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන (Rubber based Products) අංශයේ අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක් (Webinar) 2022 නොවැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය ඔස්සේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් හා නව ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අදහස් කෙරේ.

එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය රබර් ආශ්‍රිත කර්මාන්තයේ වෙළඳපොළ සහ ප්‍රවණතා, ගෝලීය අපනයන අංශයේ සංඛ්‍යා දත්ත, වර්තමාන අපනයන භූ දර්ශනය, අපනයන විභවතා, තරගකාරී වෙළඳපොළ, නියාමනය සහ වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ  කාර්මික නිෂ්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී. එල්. සුසන්ත ප්‍රේමරත්න මහතා විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. 2022 නොවැබම්බර් 08 වන දිනයෙන් ලියාපදිංචි කිරීම අවසන් වේ. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ https://www.edb.gov.lk/event/exportmarkets යන වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. අපනයන ප්‍රවර්ධන නිලධාරිනී නිපුණි මුණසිංහ මහත්මිය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය - nipuni@edb.gov.lk / Tel: 0112300716

Video Story

Stock Market

Exchange Rates