රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපන් රජයේ ආධාර

    July, 29, 2021

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

    ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන ලදි. මෙම වැඩසටහන ඉදිරියට වසර 04 ක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා තුන්වන කාර්යරාමුව (2018-2021) 2018 වසරේදී ආරම්භ කරන ලදී. තවද මෙම වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභින්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා  උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර  ඇත.  ඒ අනුව මෙම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා  අවස්ථා 180 (වසරකට 15) ක් හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා  අවස්ථා 08 ක් ලබා දී ඇත.

    තුන්වන කාර්ය  රාමුවේ හතරවන කණ්ඩායමෙහි තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී ඇති අතර තෝරා ගත් නිලධාරීන් 2021 සැප්තැම්බර් මස දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම නිලධාරීන්හට පහසුකම් සලසාදීම සඳහා 2021 වසරේදී ජපාන රජය විසින්  ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 271(ආසන්න වශයෙන් රුපියල් මිලියන 488) ආධාරයක්  ලබාදීමට එකඟ වී ඇත.

    මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ලබන රාජ්‍ය නිලධාරීන් රටේ සමාජ ආර්ථික සංවර්‍ධනය සඳහා ඉතා ඵලදායි ලෙස දායක වනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනු ලබයි.

    මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර  හුවමාරු පත්‍ර අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ මුදල් ප්‍රදාන ගිවිසුමකට එළඹීම 2021.07.29 දින මුදල් අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා  සුගියාමා මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත යමදා ටෙට්සුයා මහතා විසින් අදාළ ලිපිලේඛනවලට අත්සන් තබන ලදී.