රුපියලේ අවප්‍රමාණය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

    June, 5, 2026

    ඩොලරයේ අගය තීරණය වීම වෙළෙඳපොළ බලවේග මත තීරණය වන්නක් බවත්, කෙටිකාලයක් ඇතුළත එය සමතුලිතභාවයට පත්වනු ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෑතකාලීනව රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ, මැදපෙරදිග යුධමය තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු මතා ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවී තිබෙන බවයි. කෙසේ නමුත් එය නිසි අයුරින් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

    “රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් විදියට සමාජයට පෙන්වන්න යන එක වැරදි සහගතයි. නමුත් අපි පිළිගන්නවා මැදපෙරදිග ඇතිවුණ යුධමය තත්ත්වයේ දී, විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ අනෙකුත් කාරණාත්, ඒ වගේම ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩවීම නිසාත්, කෙටිකාලයක් ඇතුළත ඩොලරය යම් උච්ඡාවචනයකට භාජනය වෙමින් සතියක් වගේ ඇතුළත දී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. නමුත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්න මැදිහත් වීම සිද්ධ වෙලා තියෙනවා වගේම, ආර්ථිකයට ඩොලර් ලැබීම, අපනයන, සංචාරක කර්මාන්තට ඒවගේම ප්‍රේෂණ ලැබීම් නිසා අපට අවශ්‍ය කරන ප්‍රමාණයට ලැබෙනවා. කෙසේවෙතත් ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදියට මේ උච්ඡාවචනය සිදුවෙලා තියෙනවා. නමුත් එය විපක්ෂය විසින් මතු කරලා, අනවශ්‍ය විදියට 370, 380, 390ට යනවා කියන තත්ත්වය උදා වුණේ නැහැ. නැවත ඒක පාලනය වෙලා, 320ත් 330ත් අතරට ආවා. ඒත් ආයි නැවතත් දවසකින් දෙකකින් ආයි 335ට 336ට වගේ වැඩිවුණා. මේක උච්ඡාවචනය වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට නැවතත් ආයිත් 330ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙළෙඳපොළ බලවේග ක්‍රියාත්මක වීම හරහා මේ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒක වෙන්න හේතුව තමයි, කිසිදු ආකාරයකට ආර්ථික අර්බුදයක් හෝ වෙනත් ගැටළුවක් නැති නිසා මෙවැනි උච්ඡාවචනයන් වෙළෙඳපොළ බලවේග මත වෙන්න පුළුවන්. එය කෙටි කාලයක් ඇතුළත දී සමතුලිතභාවයට එනවා. ඒ නිසා වැරදි තොරතුරු හෝ නොමග යවන තොරතුරු මත කලබලයට පත්විය යුතු නැහැ.“