March, 11, 2021
2021 වසරේ ජනවාරි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 8.0 කින් අඩුවිය. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,005ට සහ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 964ට සාපේක්ෂව 2021 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 924ක් ලෙස වාර්තා විය.
2021 වසරේ ජනවාරි මාසයේ දී කාර්මික අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 11.4කින් පහත වැටුණු අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම් අපනයන සියයට 10.8කින් පහත වැටීම සහ ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන සියයට 58.5කින් පහත වැටීම හේතුවිය. සියලුම ප්‍රධාන ගමනාන්ත වෙත වූ ඇඟලුම් අපනයන පහත වැටුණි.
නැව් හා ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන සහ වෙනත් ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළත් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණු අතර, මේ සඳහා සැපයුම් පරිමාව පහත වැටීම මෙන්ම මිල ගණන් පහත වැටීම ද හේතුවිය. තවද, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ සහ බොහෝ කුඩි අපනයන අංශවල අපනයන ආදායම පහත වැටුණි.
කෙසේ වෙතත්, රබර් නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් ශල්‍ය හා වෙනත් අත්වැසුම් හා ටයර්), යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ (ප්‍රධාන වශයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ), ආහාර, පාන වර්ග හා දුම්කොළ (ප්‍රධාන වශයෙන් එළවළු, පළතුරු හා ධාන්‍ය සැකසුම්) අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
2021 වසරේ ජනවාරි මාසයේ දී කෘෂිකාර්මික අපනයන ආදායම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 5.9කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් කුරුඳු, ගම්මිරිස් සහ කරාබුනැටි වැනි කුළුබඩු අපනයන ඉහළ යෑඹ හේතුවිය. තේ අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගිය අතර මේ සඳහා අපනයන මිල ගණන් ඉහළ යෑම හේතු වූ නමුත් තේ අපනයන පරිමාව අඩුවිය. පොල් කෙඳි, ස්වභාවික රබර් සහ සකස් නොකළ දුම්කොළ අපනයන ආදායම ද සුළු වශයෙන් ඉහළ ගියේය. කෘෂිකාර්මික අපනයන යටතේ වර්ග කර ඇති වෙනත් බොහෝ කාණ්ඩවල අපනයන අදායම පහත වැටුණි.
2020 වසරේ ජනවාරි මාසයට සාපකේෂව 2021 වසරේ ජනවාරි මාසයදෙී ඛනිජ අපනයන ආදායම ඉහළ ගිය අතර, ටයිටේනියම් හා සර්කෝනියම් ලෝපස්, ලෝබොර සහ වෙනත් අගනා ලෝහ අපනයන ඉහළ යෑම හේතු විය.
2021 වසරේ ජනවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන පරිමා දර්ශකය සියයට 10.2කින් පහත වැටුණු අතර, ඒකක මිල දර්ශකය සියයට 2.5කින් ඉහළ ගියේය. මෙමගින් අපනයන ආදායම පහත වැටීම සඳහා අපනයන පරිමා පහළ යෑම හේතු වූ බව පිළිබිඹු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 ජනවාරි විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story