June, 16, 2026
මව් නායකත්ව සමුළුව 2026 හිදී (Mom Leaders Conference 2026) ලංකාවේ මව්වරුන්ට වඩාත්ම හිතකර සේවා ස්ථාන 10 අතරට DFCC බැංකුව තේරී පත්වී ඇත. ‘Parenthood Global’ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම ඇගයීම මඟින්, රැකියා නියුක්ත මව්වරුන්ට වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට, නායකත්වය දීමට සහ සාර්ථක වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට DFCC බැංකුව දක්වන අඛණ්ඩ උනන්දුව මැනවින් පැහැදිලි වෙයි.
රැකියාවේ දියුණුව මෙන්ම පවුලේ වගකීම් ද එක හා සමානව සමබරව පවත්වා ගැනීමට කාන්තාවන්ට සහාය වන, සැමට එකසේ සලකන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට DFCC බැංකුව ගන්නා උත්සාහය මෙම ඇගයීමට හේතු වී ඇත. එමෙන්ම, සේවකයින්ගේ සුභසාධනය සහ සැමට සමාන අවස්ථා ලබා දීමට මුල් තැන දෙන, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස DFCC බැංකුව තබා ඇති විශ්වාසය මේ හරහා තවදුරටත් තහවුරු වෙයි.
වර්තමානයේ සේවා පරිසරයන් නිරන්තර වෙනස්කම්වලට ලක්වන පසුබිමක, රැකියාවන් හී නිරතවන දෙමාපියන්ට ආයතනයකින් ලැබෙන සහයෝගය සහ රැකවරණය, එම ආයතනයේ දියුණුව මැන බලන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. DFCC බැංකුව පෙන්වා දෙන්නේ, සේවකයින්ගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම රැකියාවේ විවිධ අවශ්‍යතාවලදී ඔවුන්ට උපරිම සහයෝගය දීම බැංකුවේ ප්‍රතිපත්තියක් බවයි. එවැනි සුදුසු වටපිටාවක් ආයතනය තුළ තිබීම නිසා, සේවකයින් ද ඉතා උනන්දුවෙන් බැංකුවේ දියුණුව වෙනුවෙන් තම උපරිම දායකත්වය සපයන බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී පදුම සුබසිංහ මහතා මෙසේ පැවසීය: "සැමට එකසේ සලකන ආයතනයක් බිහි කළ හැක්කේ නීති රීති නිර්මාණය කිරීමෙන් පමණක් නොව, ඒවා නිතරම ක්‍රියාත්මක කිරීමෙනුයි. රැකියාව කරන මව්වරුන්ට සහයෝගය දීම අපේ බැංකුව තවත් ශක්තිමත් කිරීමට හේතු වන ප්‍රධාන සාධකයක්. මන්දයත්, නිවසේ වැඩ කටයුතු පිළිබඳ උනන්දු වන අතරතුර රැකියාවෙනුත් ඉදිරියට යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කර දුන් පසු, ඔවුන්ට වඩාත් විශ්වාසයකින් සහ පැහැදිලි අරමුණකින් යුතුව ආයතනය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. මුළු බැංකුව තුළම අප ඇති කිරීමට වෙහෙසෙන යහපත් සේවා සංස්කෘතිය මෙම ඇගයීම හරහා සනාථ වන බැවින්, මෙය අප ලත් සුවිශේෂී ජයග්‍රහණයකි."
මීට අමතරව, මෙම සමුළුවේදී තම කැපවීම, අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව සහ දැක්වූ දායකත්වය වෙනුවෙන් 'ආදර්ශමත් මව් නායකත්ව' (inspiring mom leaders) ඇගයීමට ලක්වූ DFCC බැංකුවේ සේවිකාවන් පිරිසකගේ ජයග්‍රහණය සැමරීමට ද බැංකුව කටයුතු කළේය. එලෙස ඇගයීමට ලක්වූයේ නිපුනි හෙයියන්තුඩුව, නිවිර්තිකා ජෝශප්, වෙනුෂ්කා බණ්ඩාරනායක, සින්තුජා සිවරාජා, නිෂාධි ජයසේකර, මාලින්දි ධර්මවර්ධන, තිළිණිකා හෙට්ටිආරච්චි, ඉනෝකා මුත්තුසාමි, ෂෙරින් ප්‍රියෝනා සහ නිලුෂිකා චතුරංගනී යන මහත්මීන් ය.
මෙම සේවිකාවන් ලැබූ ඇගයීම, පවුල් ජීවිතයේ අවශ්‍යතා මැනවින් කළමනාකරණය කරමින් DFCC බැංකුවේ උන්නතිය උදෙසා සමස්ත කාන්තා සේවක මණ්ඩලය ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මැනවින් විදහා දක්වන්නකි. සාමාන්‍ය සේවා ඇගයීම් ක්‍රමවලින් ඔබ්බට යමින්, සේවකයින් සතු දක්ෂතාවය, කැපවීම සහ නායකත්ව හැකියාවන් අගය කරන සේවා පරිසරයක ඇති වැදගත්කම ද මේ හරහා නැවත වරක් තහවුරු වෙයි.
සෑම සේවකයෙකුටම තමන් අගය කරනු ලබන බව, සහයෝගය ලැබෙන බව සහ උපරිම දක්ෂතා දැක්වීමට බලගැන්වෙන බව හැඟෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි DFCC බැංකුවේ මානව සම්පත් උපාය මාර්ගයන් නිරන්තරයෙන් අවධානය යොමු කරයි. සේවා ස්ථානයේ සාධාරණත්වය, සුභසාධනය, වෘත්තීය සංවර්ධනය සහ සමාන අවස්ථා තහවුරු කරන ආයතනික ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම ද මීට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍යකරණයේ පුරෝගාමියා ලෙස, DFCC බැංකුව ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවන් වෙනුවෙන් පමණක් නොව, තම සේවක මණ්ඩලය වෙනුවෙන් ද ආයෝජනය කරමින් සිය ආයතනික උරුමය තවදුරටත් ඉදිරියට රැගෙන යයි. දිවයිනේ ප්‍රමුඛතම ‘මව්වරුන්ට හිතකාමී සේවා ස්ථාන 10’ අතරට බැංකුව තේරී පත්වීම, සැමට එකසේ සලකන සේම නවීන තාක්ෂණය හා අනාගත අවශ්‍යතාවලට ගැළපෙන යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට බැංකුව තැබූ තවත් වැදගත් පියවරකි.
Video Story