ලංකා බැංකු ගොඩනැගිල්ල විකුණනවාද? – අජිත්ගෙන් සජිත්ට පිළිතුරු

    February, 9, 2021

    ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල තෙවන පාර්ශවයකට විකිණීමට කිසිදු අදහසක් නොමැති බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරාය මේ බව කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සිදුවූ සංවාදය පහතින් දැක්වේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි සැලසුමක් රජය සතුවේද? එසේනම්, ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? එවැනි තීරණයක් ගැනීමට බලපා ඇති හේතු කවරේද?

    මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් - ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල තුන්වන පාර්ශවයකට විකිණීමට කිසිම අදහසක් ඉදිරිපත් කර නැති බව මම සනාථ කරනවා. මෙතන දී බොහෝ දෙනෙක් වෑයම් කරනවා, ලංකාව ප්‍රශ්නෙක තියෙනවා, ලංකා බැංකු ගොඩනැගිල්ල විකුණන්න යනවා. ඒ වගේ කතා කීමෙන් වෙන්නේ උඩබලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. කරුණාකරලා ඒ වගේ කතා කියන්නට එපා. ලංකාවේ තියෙන ප්‍රමුඛතම බැංකුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්. මේ වගේ ප්‍රශ්න අහලා රටේ මූලික බැංකුවක් අස්ථාවර කරන්නට එපා කියලා ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.