ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක්

    April, 6, 2021

    වර්තමානයේදී මතභේදයට තුඩු දී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බවයි.

    කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමට කැපවී සිටින බව මෙම නිවේදයෙන් ඔවුන් පෙන්වා දෙයි. කෙසේවෙතත් රුපියල් 1000ක දෛනික ස්ථිර වැටුප් ආකෘතිය තිරසාර ආදායම් ආකෘතියක් නොවන බවත් ඉදිරිපත් කරන ලද හා ප‍්‍රතික්ෂේප කරන ලද ඉපැයීම් ආකෘතිය මගින් වතු කම්කරුවන්ට විශාල ධනාත්මක බලපෑමක් සිදු කළ හැකිව තිබූ බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නැවත අවධාරණය කර සිටී.

    ‘‘මෙය මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින සාම්ප‍්‍රදායික වැටුප් යෝජනා ආකෘතියෙන් බැහැර වීමට තිබූ ඉතා හොඳ අවස්ථාවක් වන අතර එමගින් නිසැකවම වතු කම්කරුවන්ගේ ජීවනෝපායන් විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකියාව තිබූ යෝජනාවලියක්.’’ යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.