June, 10, 2026
ශ්‍රී ලංකාව පදනම් කරගත් නවතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය වන ‘WEAIR’හි නිල මෙහෙයුම් කටයුතු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය දා ආරම්භ කෙරිණි.
ලක්සම්බර්ග් පදනම් කරගත් IOTC ආයෝජන සමාගමේ මූල්‍ය හා උපායමාර්ගික සහාය ඇතිව දියත් කෙරෙන මෙම නව ව්‍යාපාරය, ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය, උපායමාර්ගික පිහිටීම සහ ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය කෙරෙහි ජාත්‍යන්තරය තබා ඇති වර්ධනය වන විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නක් බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ය. මෙම සමාරම්භක අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, WEAIR සමාගමේ නියෝජිතයින්, විදේශීය ආයෝජකයින්, ගුවන් සේවා සහ සැපයුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ පාර්ශවකරුවන් මෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම සමාරම්භක අවස්ථාව අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, WEAIR ගුවන් සේවයේ ආගමනය රටේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව සහ කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කරන ඉතා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය ආයෝජනයක් බවයි. ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාමේ මංසන්ධියක පිහිටා තිබුණද, මෑත කාලයේදී අපගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අපට බොහෝ සෙයින් වෙනත් පාර්ශවයන් මත යැපීමට සිදු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වය දැන් වෙනස් විය යුතු බව අවධාරණය කළේය. වේගය, විශ්වසනීයත්වය සහ සම්බන්ධතාවය මත ආර්ථික සාර්ථකත්වය තීරණය වන වත්මන් යුගයේ, මෙම පියවර රටේ අපනයන, ඊ-වාණිජ්‍යය, ඖෂධ සහ විවිධ කර්මාන්තයන්හි සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමට සෘජුවම දායක වන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ගුවන් සේවා ක්ෂේත්රයේ සහ වාණිජ්‍යයේ සාර්ථකත්වය හුදු ප්රකාශයන්ගෙන් පමණක් ළඟා කර ගත නොහැකි බවත්, ඒ සඳහා විනය, විශ්වසනීයත්වය, නිරවද්‍යතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය අත්‍යවශ්‍ය සාධක වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. WEAIR භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය Boeing 737-800 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයකින් සිය ප්‍රථම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන අතර, ඉදිරියේදී සිය ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් දකුණු ආසියාව, නිරිතදිග ආසියාව, ගිනිකොණදිග ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය පුරා මෙන්ම මැදපෙරදිග හා අප්‍රිකානු කලාපීය ප්‍රධාන ගමනාන්ත සමඟ කොළඹ සෘජුවම සම්බන්ධ කෙරෙනු ඇත. මෙය කොළඹ නගරය ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානයක් සහ විශ්වාසදායක ද්වාරයක් බවට පත් කිරීමේ රජයේ දැක්මට මනා පිටුවහලකි.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරට තරුණ ප්‍රජාවට සහ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදාවන අතර, දැනුම සහ නව තාක්ෂණය හුවමාරු කර ගනිමින් ජාතික ධාරිතාව වර්ධනය කිරීමටද අවස්ථාව සැලසේ. පෞද්ගලික ව්‍යවසාය සහ රාජ්‍ය ආයතන අතර පවතින මෙවැනි සහයෝගීතාවයන් දිරිමත් කරමින්, ආයෝජන සඳහා සුදුසු සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට සහ ශ්‍රී ලංකාව ප්රමුඛ පෙළේ සැපයුම්, ගුවන් සේවා සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Video Story