July, 7, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය (MOI&ED) සමඟ එක්ව "ශ්‍රී ලංකා එක්ස්පෝ 2027" (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලාංකික අපනයනකරුවන්ට ප්‍රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අපනයන විභවය විදහා දැක්වීම සහ ගෝලීය වෙළඳ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රමුඛතම වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයට සහභාගී වන දේශීය අපනයනකරුවන්ට ගෝලීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් හමුවීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, විභව ගැනුම්කරුවන් සමඟ පෙර සැලසුම් කළ ව්‍යාපාරික හමුවීම් සඳහා ද ප්‍රදර්ශකයන්ට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ විවිධත්වය විදහා දක්වන පරිදි ක්ෂේත්‍ර 25ක් ඔස්සේ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සහ අපනයන විභවයක් ඇති සමාගම් සඳහා ප්‍රදර්ශන කුටි 650ක් වෙන් කර ඇත.
කාර්මික නිෂ්පාදන යටතේඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා, රබර්, ප්ලාස්ටික් සහ රසායනික නිෂ්පාදන, මැණික් සහ ස්වර්ණාභරණ, ඉංජිනේරු සහ මෝටර් රථ උපාංග, බෝට්ටු සහ නැව් තැනීම, සමුද්‍රීය සේවා, විදුලි සහ විද්‍යුත් නිෂ්පාදන, ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන, තෑගි භාණ්ඩ, ජීවන රටා සහ අත්කම් නිර්මාණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, මුද්‍රණ සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍ර ඇතුළත් වේ.
කෘෂි කාර්මික නිෂ්පාදන යටතේතේ, කුළුබඩු සහ සාන්ද්‍රණ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, මුහුදු ආහාර / ආහාරයට ගත හැකි මත්ස්‍ය නිෂ්පාදන, සැකසූ ආහාර සහ පාන වර්ග, ආයුර්වේද, ශාකසාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන, කැපූ මල් සහ පත්‍රිකා, විසිතුරු මසුන්, පලතුරු සහ එළවළු යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
අපනයන සේවා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය / ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (ICT/BPM), සංචාරක කර්මාන්තය, කාර්යෝපාය සේවා (Logistics Services), ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුව සේවා සහ සෞඛ්‍ය සේවා, සහ වෙනත් සේවා ඇතුළත් වේ.
ශ්‍රී ලාංකික අපනයනකරුවන් සහ අපනයන විභවයක් ඇති සමාගම් සඳහා මේ සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති අතර, ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව සීමිත බැවින් සුදුසුකම් ලත් ප්‍රදර්ශකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් (screening process) සිදු කරනු ලැබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා කෙරෙන මෙම ජාතික ප්‍රයත්නයට දායක වන ලෙස සහ 2026 ජූලි 31 ට පෙර ලියාපදිංචි වන ලෙස අපනයන සංවර්ධන සණ්ඩලය සියලුම අපනයනකරුවන්ට ආරාධනා කරයි.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා පහත නිලධාරීන් සම්බන්ධ කර ගත හැක. කාර්මික නිෂ්පාදන සඳහා ඉන්දික සුගතදාස (0718246762 | indikas@edb.gov.lk), කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ජයනී ගලගෙදර (0710391184 | jayani@edb.gov.lk), සහ සේවා අංශය සඳහා ඩිෂාන්ට් යාපා (0772953717 | dishant@edb.gov.lk) අමතන්න.
Video Story