ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත්

    March, 4, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය.

    දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෑතක දී පෞද්ගලික අංශයට සපයන ලද ණය මන්දගාමී වීම සහ ආර්ථිකයේ ඵලදායී අංශවලට ණය ලබා දීම ප්‍රමාණවත් නොවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට මූල්‍ය පද්ධතිය මගින් ඵලදායී අංශ සඳහා සක්‍රීයව ණය ලබා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

    තවද, මෑතකදී ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලද අතර, අඩු උද්ධමනයක් පවතින වාතාවරණය තුළ, ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්වන තෙක් අඩු පොලී අනුපාතික ව්‍යුහය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වූ කැපවීම මුදල් මණ්ඩලය විසින් යළිත් අවධාරණය කරයි.