ලෝක වෙළෙඳාපොළේ තෙල්, ගෑස් මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙලා – වෙළෙඳ ඇමති බන්දුල

    March, 29, 2021

    තෙල්, ගෑස් සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ලෝක වෙළෙඳපොළෙ තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, ලෝක වෙළෙඳපොළේ පවතින මිල වෙනස්කම්වලට වෙනස්කම් නොදැක්වූවොත් එම සමාගම් කඩාගෙන වැටෙන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (28) හෝමාගම දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “මේ අවස්ථාව රටට අමාරු අවස්ථාවක්. ඒ නිසා රජය ඒ (ගෑස්, ඉන්ධන මිල වැඩි කිරීම) පිළිබඳව තීරණය කරලා නැහැ. ලෝක වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස තෙල්, ගෑස්, අනෙක් පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවෙලා තිබෙනවා. ලෝකයේ ඉතිහාසයේ නොවූ විරූ විනාශයක් වෙලා තියෙන්නේ. භාණ්ඩ අපනයන ආනයන ක්‍රියාවලිය, සැපයුම් ජාලය සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙනවා. ඒ මදිවට කොවිඩ්-19 වසංගතයට අතිරේකව සූවස් ඇළ හරහා භාණ්ඩ ප්‍රවාහනයට දින ගණනක සිට ලෝක පරිමාණයේ බාධා පැමිණෙලා තිබෙනවා.“

    “ලෝකය තුළ තියෙන එක රටක් ලංකාව. ඒ නිසා ලෝක වෙළෙඳපොළේ පවතින මිල වෙනස්කම්වලට අපි ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ඒ සමාගම් ආයතන කඩාගෙන වැටෙනවා.“

    “පසුගිය රජය යටතේ තිබුණා අසාමාන්‍ය බද්දක්. හැම භාණ්ඩයක්ම ගන්න කොට වැට් එක තිබ්බා සියයට 15 ක්. ඒ ජනතාවගේ වැට් එක සියයට 7 ට අඩු කරලා තියෙනවා. පසුගිය රජය සමයේ ජනතාව උපයන විට ගෙවන්න ඕනේ PAYE tax එකක්. ඒක සම්පූර්ණයෙන් බදු පොතෙන් අහෝසි කරලා තියෙනවා. ඊළගට තිබුණා ජාතිය ගොඩනැගීමේ බද්දක්. ඒක සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. සියයට 30 තිබුණු රේගු බදු සියයට 15ට ගිය සතියේ පාර්ලිමේන්තුවේ අඩුකළා. මේවා තමයි රජය කරන්නේ, ලෝක වෙළෙඳපොළේ තියෙන අසාමාන්‍ය මිල ඉහළ යාමේ තත්ත්වය තුළ.“