වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා අවසර ලබා දීමේ ප්‍රතිපත්තියේ වෙනසක්

    October, 21, 2021

    එක් වරායක එක් විශේෂිත ක්ෂේත්‍රයක එක් බැර කර්මාන්තයක් සඳහා අවසර ලබා දීම දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්තිය වේ. බංග්ලාදේශය, ඉන්දියාවේ නැ‍ඟෙනහිර වෙරළබඩ ප්‍රදේශය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල ආර්ථිකයේ සීග්‍ර වර්ධනයත් සමඟ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කේන්ද්‍රීය වරායක් වශයෙන් දියුණු කිරීම පිණිස ත්‍රිකුණාමල වරාය සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එම සැලැස්ම සකස් කිරීමේදී ත්‍රිකුණාමල වරායේ ස්වභාවික පිහිටීම, එම වරායට ආසන්නව පවතින වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2000ක පමණ ඉඩම් ප්‍රමාණය හා එම වරාය සඳහා සේවාවන් සැලසීම පිණිස පවතින දියුණු යටිතල පහසුකම් වැනි කරුණු ද සැලකිල්ලට ගෙන ඇත.

    තවද, වරාය දියුණු කිරීම පිණිස විශේෂ සීමා කිරීම්වලින් තොරව කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයින් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, වරාය ආශ්‍රිත බැර කර්මාන්ත ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් දැනට පවතින එක් වරායක එක් බැර කර්මාන්තයක් යන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.