ව්‍යවසායකයන් දිරිගන්වන්න නව සංවර්ධන බැංකු ඇති කළ යුතුයි – SLT සභාපති

    September, 24, 2021

    ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවල සහාය අත්‍යාවශ්‍ය බවත්, නව ක්‍රමවේදයක් හරහා සංවර්ධන බැංකු ඇතිකර ව්‍යවසායකයින් දිරිගැන්විය යුතු බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. TV දෙරණ 'එක්ව ජයගමු' සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම එම බැංකු කටයුතු කළ යුත්තේ ව්‍යවසායකයාගේ හවුල්කරුවෙකු ලෙසින් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

    "මේක වැදගත් කාරණයක්. එක්තරා කාලයක අපේ රටේ තිබුණා සංවර්ධන බැංකු දෙකක්. NDB සහ DFCC. ඒ බැංකු ක්‍රියා කළේ ණයදෙන, පොළීකාරයෝ වගේ නෙමෙයි. දැන් තියෙන්නේ පොළියට මුදල් දෙන බැංකු ක්‍රමයක්. ඒගොල්ලේ වැඩ කළේ නැගී එන ව්‍යවසායකයන්ගේ පාර්ශවකරුවන් හැටියට. ඒකෙන් විශාල ප්‍රමාණයක් අලුත් ව්‍යවසායකයෝ ගොඩනැගුනා. එක්තරා කාලයක ලෝක බැංකුවේ හරි IMF එකේ හරි උපදෙස් මත ඒ බැංකු දෙක පුද්ගලීකරණය කළා. ඒක නැතුව ගියා. දැන් බලන්න අද වෙන කොට පොළී අනුපාතය සියයට 6 යි 9 යි අතරට ඇවිල්ලා තියෙන්නේ. මේ හරහා අලුත් ක්‍රමවේදයකට යනවා නම් සංවර්ධන බැංකු ඇතිකරලා ව්‍යවසායකයන් දිරිගැන්වුවොතින්, ඒ බැංකු එන්න ඔ්නේ තාක්ෂණය සහ දැනුම එක්ක ඒ ව්‍යවසායකයාගේ හවුල්කරුවෙක් වෙන්න. එහෙම වුණොතින් අපිට මේ රට නැවත පුළුවන් තරම් ඉක්මනට ඉදිරියට යන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන්."