වැඩි මිලට වාහන ලීසිං කරන්නේ බලාගෙනයි

    September, 17, 2021

    වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීම තුළ, මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී ඇත. ‌මෙ පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ.

    මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීව රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රටවල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද බබල් එකක් ඇති වී තිබෙන බවයි. පවතින තත්ත්වය සමතයකට පත වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත්, පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරන්නේ ඒ අනුව බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    "එකපාරක් එංගලන්තේ එහෙම විශාල රියල් එස්ටේට් බබ්ල් එකක් ආවා. මොකද නොහිතන ගණන්වලට රියල් එස්ටේට් වටිනාකම ගිහිල්ලා අන්තිමට එකසැරේට ඒවායේ වටිනාකම අඩුවුණා. එතකොට අඩුවුණු ගමන්ම බැංකු කඩාගෙන වැටුණා. සමහර වාහන මිලියන 8 ට 10 ට ගියපු ඒවා අද වෙන කොට මිලියන 20 ට විතර යනවා කියලා ආරංචි වෙනවා. එතන විශාල අනවශ්‍ය මිල වැඩිවීමක් තියෙන්නේ. ඒ මිලකට මූල්‍ය ආයතන විසින් ලීසිං පහසුකම් සැපයූවොත් කවදා හරි මේක සමතයකට පත් වුණාම, අද තියෙයි තව අවුරුද්දකින් මේක හරියනවා මේ ප්‍රශ්නය, එතකොට එකසැරේටම ලොකු කඩා වැටීමක් වෙනවා. එතකොට ඒ ආයතනවල විශාල වශයෙන්ම අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද රටේ වාහනයට අදාළ වටිනාකම නෙමෙයි මූල්‍ය පහසුකම සපයලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා හැම මූල්‍ය සමාගමක්ම ඒ ගැන බලනවා. එතකොට ඒ අනුව තමයි කටයුතු කරන්නේ කියන එක විශ්වාසයි. පීපලස් ලීසිං එක ගත්තොත් අපි ඒ විදියට කටයුතු කරනවා."