වැවිලි ඇමති ස්විට්සර්ලන්ත කාබනික කෘෂි විශේෂඥයින් හමුවෙයි

    August, 10, 2021

    ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ සිටින කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ කණ්ඩායම පසුගියදා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරු හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එහිදී, වැවිලි කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව සතු දැක්ම සහ කාබනික පොහොර අභියෝගය ජයගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.

    තවද මෙම හමුව අතරතුරදී, කාබනික කෘෂි පද්ධතියක් ගොඩනැගීමෙහිලා පවතින පොදු අභියෝගය පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම රටේ ආර්ථිකයට, අපනයන ක්ෂේත්‍රයට මෙන්ම සේවා නියුක්තියට සුවිශේෂී බලපෑමක් කරන වැවිලි බෝග කාබනික කෘෂිකර්මාන්තයට පරිවර්තනය කිරීමේදී මතුවන බාධක ජයගැනීම පිළිබඳව විශේෂඥයින් පිරිස තමන් සතු දැනුම බෙදාගත්හ. අමාත්‍යවරයා ද එම කතාබහ අතරතුර තමන්ට නැඟුණු විවිධ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡාවට ලක් කළ අතර, ඉතාම ඵලදායී සාකච්ඡාවක් ගොඩනඟා ගැනීමට එහිදී අවස්ථාව උදාවිය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- පර්යේෂණ නිෂ්පාදන කීර්ති එම්. මොහොට්ටාල මහතා ද සහභාගී විය.

    එදිනම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා සමඟ ද විශේෂඥ කණ්ඩායම සූම් ඔස්සේ සාකච්ඡා පැවැත්වීය.

    මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය සහ මහාචාර්යවරයා, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත පරිවර්තනය වීම පිළිබඳ සිය දැක්ම සහ ඊට අදාල පුහුණු හා ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් ගොනුකළහ. විශේෂයෙන්ම කාබනික ගොවිතැන වෙත ගමන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය විශේෂ උනන්දුවක් දැක්වීමට හේතු පිළිබඳව ද ඔවුහු කරුණු දැක්වූහ.

    මීට අමතරව,  කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්. එන්. රණසිංහ සහ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ යන මහත්වරු සමඟ ද මෙම විශේෂඥ පිරිස සාකච්ඡා කළහ. රාජ්‍ය නිලධාරීන් දෙපළ, වර්තමාන රජය ඉදිරිපත් කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව සෞඛ්‍යමත් ජාතියක් බිහිකිරීමේ අරමුණින්, එළඹෙන මහ කන්නය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවා ඇති ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් පිළිබඳව විස්තර කළහ.

    තව ද ඔවුහු සිය සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත සහ කෘෂි විශේෂඥ චන්දන හේවාවසම් මහතා ද හමුවූහ. GIZ Sri Lanka ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා ද ඔවුන් මුණගැසුණු සෙසු නිලධාරීන් අතර විය.

    ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරන මෙම පිරිස, බවර් සමාගමේ මැදිහත්වීමෙන් මෙරටට පැමිණියහ. දින 10ක සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පරිසරය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව, විද්‍යාත්මක හා වෘත්තීමය සාක්ෂි පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒකාබද්ධ සැලැස්මක් ඉදිරිපත් කිරීමට මෙම විශේෂඥ කණ්ඩායම ක්‍රියාකරනු ඇත.