විදෙස් ගැණුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් අන්තර්ජාතික මැණික් වෙන්දේසියක් හම්බන්තොට දී

    March, 3, 2021

    මැණික් සහ ස්වර්ණාභරණ අපනයන පිලිබඳ කාර්යසාධක බලකායේ පළමු රැස්වීම මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මහබැංකු පරිශ්‍රයේදී අද (03) පැවැත්විණි . ලංකාවේ පැරණිතම අපනයන භාණ්ඩයක් වන මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ ඇති ගැටළු රාශියක් පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡවට ලක් වූ අතර ඉඩම්, මැණික් පතල් , මැණික් කැපීම, සහතික කිරීම, වෙන්දේසි කිරීම සහ අන්තර් ජාතික මට්ටමේ ඇති පිළිගැනීම වැඩි කිරීම ඇතුළු කර්මාන්තයට අදාල ක්ෂේත්‍ර ගණනාවක් පිලිබඳ මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරුණි.
    අන්තර්ජාතික ප්‍රමිතීන්ගෙන් යුත් පරීක්ෂණගාර තුනක් රතන්පුර, ගාල්ල සහ කොළඹ ප්‍රදේශයේන්හි ස්ථාපිත කිරීමත්, ජංගම පර්යේෂණාගාර ඉදි කිරීමත් පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය. තායිලන්තය සහ හොං කොං රටවල මැණික් කර්මාන්තය සිදු කරන ආකාරය සිද්ධි අධ්‍යනයක් ලෙස ගෙන ඒ පිලිබඳ අධ්‍යනය කිරීමට මෙහිදී යෝජනා විය. විශේෂයෙන්ම මෙම කර්මාන්තයට අදාල පුහුණු සේවකයින් නොමැතිවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර අන්තර්ජාතික පිළිගැනීමක් ඇති පුහුණු නිලධාරීන් සම්බන්ධ කර ගනිමින්, පෞද්ගලික අංශයේ සහයෝගයද ඇතිව තරුණ තරුණියන් පුහුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමටද මෙහි දී එකඟවිය. පසුගිය කොවිඩ් 19 වසංගතය සමයේ ලෝකය තුල අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන විකුණුම් වැඩි වී ඇති අතර ශ්‍රී ලංකාව තුලද අන්තර්ජාල විකුණුම් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස පැමිණ සිටි පෞද්ගලික අංශ නිලධාරීන් රජයෙන් ඉල්ලා සිටියෝය. එමෙන්ම ලෝකයේ වැඩිම මැණික් ලබා ගන්නා රටක් වන චීනයේ බිජිං සහ ෂැන්හයි නගර වල විකුණුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වන විටත් ගෙන ඇති අතර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මැඩගස්කරයට ගමන් කිරීමට අවශ්‍ය ගුවන් ගමන් පහසුකම් සැලසීමටද මෙහිදී එකඟත්වය පළකරන ලදී.
    විදේශ ගැණුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් මැණික් වෙන්දේසියක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට අදාල ආයතන සහ සංගම් මෙහිදී යෝජනා කර ඇත. 2014 වසරේ දී පැවති රාජපක්ෂ පාලන සමයේදී මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි රාමුවක් සකස් කර කර්මාන්තය ඉතා ඉදිරියට ගෙන ආ බවත් ඉන්පසු පැවති රජය ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම කර්මාන්තය යම් පසුබෑමකට ලක්වූ බවත් පැමිණ සිටි පෞද්ගලික අංශයේ ආයතන වල නිලධාරීහූ අවධාරණය කළහ.
    මේ සඳහා මැණික් සහ ස්වර්ණාභරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මහබැංකු අධිපති මහාචාර්ය ඩබලිව් ඩී ලක්ෂ්මන්, රාජ්‍ය අංශ නිලධාරීන් සහ පෞද්ගලික අංශ නිලධාරීන් මේ සඳහා සහභාගී වුනා.