විදෙස් ණය ගෙවූ පසු ඩොලර් සංචිතය පහළ වැටුණේ මෙහෙමයි

    August, 14, 2021

    2021 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින විදේශ විනිමය සංචිතය ඒක්සත් ජනපද ‌ඩොලර් මිලියන 2,364.6 ක් ලෙසින් වාර්තා වේ.

    2021 ජූනි මාසය තුළ දී මෙම වටිනාකම ඩොලර් මිලියන 3,599.2 ක් ලෙසින් වාර්තා විය.

    2021 ජූලි 27 දින කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම හේතුවෙන් මෙලෙස මෙරට විදෙස් සංචිතය පහළ ගොස් තිබේ.

    මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා කියා සිටියේය. ඒලෙස අපේක්ෂිත ලැබීම් පහත පරිදි වේ.

    ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400
    බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250
    චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය : ඇ.ඩො.මි 300
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය (SDR allocation from the IMF) : ඇ.ඩො.මි 800
    මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
    දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි 300
    ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර ඒයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණි. ජූලි මාසයේ දී සිදුකරනු ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ආපසු ගෙවීමත් සමඟම මෙම අගය ඩොලර් බිලියන 5.5 ක් දක්වා පහළ යනු ඇත.

    මේ අතර 2021 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 ක් වේ. ඒ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.