August, 20, 2021
2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ඒක්සත් ජනපද ඩොලර් මිලියන 478 ක් දක්වා සියයට 16.4කින් පහළ ගොස් ඇත.
කෙසේවෙතත් වසරේ මුල් භාගයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ඒක්සත් ජනපද ඩොලර් මිලියන 3,324 ක් දක්වා සියයට 11.6 ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමක දී මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසුවේ, විධිමත් ක්‍රමවේද ඔස්සේ මුදල් එවන ක්‍රමවල පහළ යාමක් දක්න්නට ඇති බවයි. මෙය සැබෑ ලෙසම ප්‍රේෂණවල අඩුවීමක් ලෙස නොසලකන බවත්, විදෙස්ගත සේවා නියුක්තිකයින් අවිධිමත් මාර්ග හරහා මෙරට සිය පවුල්වලට මුදල් ඒවීමට කටයුතු කිරීමේ උත්සාහයන් හි වැඩිවීමක් සිදුව ඇති බවට සැක කරනු ලබන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
"පසුගිය වසරේ දී විදේශ ප්‍රේෂණවල හඳුනාගත හැකි විශාල වර්ධනයක් දකින්නට ලැබුණා. මේ වසරේ මුල් මාස කිහිපය තුළ ත් ප්‍රේෂණවල පරිමාවෙහි ක්රමික වර්ධනයක් වාර්තා වුණා. නමුත් පසුගිය මාස කිහිපයේ දී ප්‍රේෂණ ප්‍රමාණයෙහි අඩුවක් දකින්න තිබෙනවා. වර්ෂයෙන් වර්ෂයට මෙන්ම මාසයෙන් මාසයට සන්සන්දනය කිරීමේ දී මෙම තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි සැක කරනවා මෙය ශ්‍රී ලංකාවට ගලා එන විදෙස් ප්‍රේෂණවල සැබෑ පහළ යාමක් නොවන බවට. නමුත් අපි හිතනවා මෙය සමහර විට පිටරට සේවය කරන අය මෙරට සිටින තම පවුලේ සාමාජිකයින්ට මුදල් ඒවන මාර්ගවල වෙනසක් සිදුකර ඇති වගට."
Video Story