විදෙස් සංචිතය තවත් අඩුවෙයි

    July, 8, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2026 ජූනි මාසය තුළ දී 6.3%කින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවකම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    ඒ අනුව පසුගිය 2026 මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,881ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 ජූනි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,450ක් දක්වා ඩොලර් මිලියන 431ක පහළ යාමක් වාර්තා කර තිබේ.

    නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන්නේ විදේශ විනිමය සංචිතයයි. එය 2026 ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 6,661 සිට ඩොලර් මීලියන 6,254ක් දක්වා ඩොලර් මිලියන 407කින් හෙවත් 6.1%කින් පහළ වැටී ඇත.

    මේ අතර මහ බැංකුවේ රන් සංචිතය 2026 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 216 සිට ඩොලර් මිලියන 191ක් දක්වා 11.7%කින් අඩු වී තිබේ.

    2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 පෙබරවාරි මාසයේ දී ඩ‌ොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය අතර පෙබරවාරි මාසය අවසානයේ දී එම වටිනාකම ඩොලර් මිලියන 7,284ක් ලෙසින් වාර්තා වුණි.

    කෙසේවෙතත් 2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය නැවත වරක් ඩොලර් බිලියන 7 සීමාවෙන් මෙපිටට පැමිණි අතර මැයි මාසයේ දී සංචිතයේ 1.6%ක සුළු වර්ධනයක් වාර්තා වුවද යළිත් වරක් ජූනි මාසය වන විට එය මෙලෙස අඩු වී ති‌බේ.