වෙරළාසන්න වාණිජ යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුවක්

    May, 5, 2021

    සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයත් සමඟ නෞකා මඟින් මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය වැඩිවීම හේතුවෙන් වෙරළාසන්න වාණිජ යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
    ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලය, එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සමඟ වරාය හා නාවික අමාත්‍යාංශයේ සහයෝගයෙන් එවැනි නියාමන රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එම කාර්යය සඳහා ලොයිඩ් රෙජිස්ටර් ඒෂියා ආයතනයේ සහාය ලබා ගෙන ඇත. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් රෙගුලාසි 04ක් කෙටුම්පත් කර ඇත.
    1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ විධිවිධාන පරිදි විෂයභාර අමාත්‍යවරයාට අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සඳහා බලය පැවරී තිබේ. ඒ අනුව, කෙටුම්පත් කරන ලද රෙගුලාසි සඳහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාව ලබා ගැනීමෙන් පසුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.