ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම උදෙසා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරඟකාරීත්වය ඉහළ නංවන විශේෂ වැඩපිළිවෙළක්

    March, 3, 2021

    යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම හා සම්බන්ධ සහයෝගීතා ව්‍යාපෘතියක්

    යුරෝපා සංගමය විසින් මූල්‍යාධාර සැපයූ මෙම ව්‍යාපෘතිය පසුගිය වසර 4ක කාලය පුරා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරමින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටත්, යුරෝපීය වෙළඳපොළ හා කලාපීය රටවල වෙළඳපොළට පිවිසීමට ඉඩප්‍රස්ථා හිමිකර දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

    ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනට පාර්ශවකරුවන් වශයෙන් වෙළඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් සම්බන්ධ වී ඇත.

    ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියාමයන් සහ වෙළඳ ප්‍රතිපත්ති ඒකාබද්ධ කරමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට යුරෝපා සංගමයේ GSP+ සහනයෙන් උපරිම ප්‍රතිලාභයක් ලබාගැනීමට උපකාරී වී ඇත. ගෘහස්ථ නිෂ්පාදන සහ ප්‍රමිති පාදක නිෂ්පාදනවල තෝරාගත් සැපයුම් දාමයන්, කුළුබඩු සහ සාන්ද්‍රණ, සැකසූ ආහාරපාන සහ තොරතුරු තාක්ෂණ / ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය වැනි ක්ෂේත්‍රයන් කිහිපයක් ආවරණය වන සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත. තවද, වෙළඳපොළ ප්‍රවේශයන් සඳහා පහසුකම් සලසමින් මෙරට වෙළඳ ධාරිතාව ශක්තිමත් කිරීම, විවිධ ක්‍රමෝපායන් මඟින් මෙරට වෙළඳපොළ ආර්ථික සංවර්ධනයට සහාය වීම සහ ජාතික තත්ත්ව යටිතලපහසුකම් ක්‍රමවේද නවීකරණය කිරීම වැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවමින් මෙම ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශාල දායකත්වයක් ලබා දෙන්නට ද සමත්ව ඇත.

    2016 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට සාර්ව ආර්ථිකය පුළුල් සහ ශක්තිමත් කරන්නටත්, අපනයන ආර්ථිකයට දිරිදෙමින් ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ වැඩි වැඩියෙන් රට තුළ ආයෝජන අවස්ථා ඇති කරන්නටත් කැපීපෙනන සහායක් ලබා දී ඇත.