ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන ඉහළ නැංවීමට EDB සහ NMRA සමග විශේෂ සාකච්ජාවක්

    June, 2, 2026

    ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධාවන් ඉවත් කර ක්ෂේත්‍රයේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සතුව ඉහළ ධාරිතාවක් පැවතියද, අපනයන ආදායම තවමත් පැවතිය යුතු මට්ටමට වඩා අඩු අගයක් ගන්නා බවයි. 2030 වසර වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ඇමරිකානු ඩොලර් බිලියන 36 ක සමස්ත අපනයන ඉලක්කය සපුරා ගැනීම සඳහා ඖෂධ ක්ෂේත්‍රය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී අවධාරණය කළේ, මෙරට සෞඛ්‍ය ප්‍රමිතීන් ආරක්ෂා කරන අතරම ඖෂධ නිෂ්පාදකයින්ගේ ජාත්‍යන්තර අපනයන අරමුණු සඳහා සහාය වීමට තම අධිකාරිය කැපවී සිටින බවයි. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වැඩි විශ්වාසයක් දිනා ගැනීම සඳහා නියාමන ක්‍රියාවලීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    මෙම සාකච්ඡාවේදී ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සම්බන්ධ ප්‍රමාදයන්, අනෙකුත් නියාමන කටයුතු සඳහා ගතවන කාලය (regulatory timelines) සහ ඉලක්කගත විදේශීය වෙළෙඳපොළවල නිරන්තරයෙන් වෙනස් වන අනුකූලතා රාමුවලට (compliance landscapes) අනුගත වීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වීම වැනි කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    කෙසේ වෙතත්, අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය දක්වන උනන්දුව පිළිබඳවද මෙහිදී නිෂ්පාදකයින් සිය ප්‍රසාදය පළ කළහ.

    අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ පෞද්ගලික අංශය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ ජයග්‍රහණය කරවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.