June, 26, 2026
අහමදාබාද්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, 2026 ජූනි 26: නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ඇ.ඩො.මි. 20 කට අධික මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙමඟින් මෙරට ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් වන අතර, ඖෂධ ආනයනය මත යැපීම අවම කර ගැනීමට ද විශාල පිටිවහලක් ලැබෙනු ඇත.
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර හතරකට ආසන්න භූමි ප්‍රමාණයක මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදි කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරමින් අද දින මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්විණි. මෙම කර්මාන්තශාලාව මඟින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගික ඖෂධ වෙළඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදන සිදු කිරීමට අරමුණු කරයි. එමඟින් මෙරට ජනතාවට උසස් තත්ත්වයේ ඖෂධ පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන අතරම, ජාතික ඖෂධ සැපයුම් දාමය වඩාත් ශක්තිමත් කිරීමට ද ඉන් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
මෙම සහයෝගීතාවය හරහා ඖෂධ නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත තාක්ෂණික දැනුම පිළිබඳ Zydus’ සතු ජාත්‍යන්තර අත්දැකීම් ද, ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළ හා බෙදාහැරීමේ ජාලය පිළිබඳ Sunshine සතු ශක්තිමත් දේශීය දායකත්වය ද එකට එක් කරයි. තවද මෙමඟින් මෙරටට නව තාක්ෂණය හඳුන්වා දීම, දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම ද සිදුකෙරෙන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන දියුණුවට ද ඉවහල් වනු ඇත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන්හි දේශීය නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන මෙවැනි තීරණාත්මක කාල වකවානුවක මෙම ව්‍යාපෘතිය ආරම්භ වීම ඉතා වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව මෙලෙස ශක්තිමත් කිරීම තුළින් ඖෂධ සැපයුමේ සුරක්ෂිතතාව තහවුරු වන අතර, ආනයන මත යැපීම අවම වී වඩාත් සහනදායී මිලකට, අඛණ්ඩව ඖෂධ ලබාගැනීමේ අවස්ථාව ද මෙරට ජනතාවට හිමි වේ.
Zydus Lifesciences Ltd යනු විවිධ ඖෂධ සංයෝග, APIs, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය සේවා, සත්ත්ව සෞඛ්‍ය සේවා මෙන්ම පාරිභෝගික සුවතාව වැනි පුළුල් පරාසයක විහිදුණු ඉහළ අත්දැකීම් සහිත සමාගමකි. මෙම නව කර්මාන්තශාලාව මෙරට තුළ සාර්ථකව ස්ථාපිත කිරීමට සහ එහි කටයුතු තවදුරටත් පුළුල් කිරීමට Zydus Lifesciences සතු ජාත්‍යන්තර සුව සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ විශිෂ්ට නිෂ්පාදන ප්‍රමිතීන් බෙහෙවින් උපකාරී වනු ඇත.
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් Zydus Lifesciences හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්විල් පී. පටෙල් මහතා මෙසේ අදහස් දැක්වීය. “ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියක ස්ථාවරත්වය සහ සුරක්ෂිතතාව සඳහා ශක්තිමත් දේශීය නිෂ්පාදන ධාරිතාවක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන බව අප සැමවිටම විශ්වාස කරනවා. Zydus සමාගම සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ට නිෂ්පාදන ප්‍රමිතීන් සමඟ සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ දේශීය දැනුම සහ පළපුරුද්ද එක් කිරීම හරහා ශ්‍රී ලංකාවේ සුව සේවා ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කිරීමටත්, අනාගතය වෙනුවෙන් තිරසාර ඖෂධ නිෂ්පාදන හැකියාවක් ගොඩනැඟීමට වැදගත් පියවරක් තැබීමටත් අපට හැකි වී තිබෙනවා.” යනුවෙනි.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සුව සේවා ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාව සහ වර්ධනය වෙනුවෙන් තැබූ වැදගත් ආයෝජනයක්. Zydus සමඟ එක්ව දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඉහළ වෘත්තීය නිපුණතාවලින් යුත් රැකියා අවස්ථා බිහිකිරීමටත්, මෙරට පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ඖෂධ පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සලසා දීමටත් අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මෙහි ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස කටයුතු කරනු ඇත. මෙහි නිෂ්පාදනය කෙරෙන සියලුම ඖෂධ වර්ග NMRA හි රෙගුලාසිවලට සහ මිල පාලන රාමුවලට අනුකූලව වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගැනේ.
ජනතාවට වඩාත් නිරෝගී මෙන්ම සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නිදහස ලබා දීම අරමුණු කරගත් Zydus Lifesciences Ltd. යනු විවිධ වෛද්‍ය ප්‍රතිකාර සොයාගැනීම, සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදනය සහ වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුකරන ගෝලීය නවෝත්පාදන සමාගමකි. නව වෛද්‍ය සොයාගැනීම් වෙනුවෙන් කැපවුණු පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශයේ විද්‍යාඥයින් 1,500ක් ඇතුළුව ලොව පුරා විසිරී සිටින 30,000කට අධික සේවක මණ්ඩලයක් මෙම සමාගම සතු වේ. ගුණාත්මක සුව සේවා විසඳුම් ඔස්සේ මිනිස් ජීවිත සුවපත් කිරීම ඔවුන්ගේ ප්‍රධානතම මෙහෙවරයි. පසුගිය දශකය තුළ, Zydus සමාගම විසින් එන්නත්, විශේෂ ඖෂධ වර්ග, ජීව විද්‍යාත්මක ඖෂධ සහ නව රසායනික සංයෝග ඇතුළුව, මෙතෙක් නිසි ප්‍රතිකාර සොයා නොගත් රෝගාබාධ සඳහා ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් නව්‍ය ඖෂධ නිෂ්පාදන රැසක් ද වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා www.zyduslife.com වෙත පිවිසෙන්න.
Sunshine Healthcare Lanka ලිමිටඩ් යනු ඖෂධ බෙදාහැරීම, පාරිභෝගික ඖෂධ සැපයුම, ඖෂධ නිෂ්පාදනය මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු පුළුල් පරාසයක සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුව සේවා සමාගමකි. Sunshine Pharmaceuticals, Healthguard Distribution, Healthguard Pharmacy, Lina Manufacturing සහ Sunshine Medical Devices යන එහි ප්‍රධාන ව්‍යාපාරික අංශ ඔස්සේ දිවයින පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ ඖෂධ සහ සුව සේවා විසඳුම් වඩාත් පහසුවෙන් ලබාදීම සඳහා සමාගම සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

Video Story