ශ්‍රී ලංකාවේ ග්‍රැෆීන් වෙනුවෙන් රුසියාවේ රුස්ග්‍රැෆීන් සමඟ සාකච්ඡාවක්

    June, 21, 2021

    රටේ ආර්ථිකයට දායක වීම පිණිස ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල විභවය හඳුනා ගනිමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඛනිජ ද්‍රව්‍ය තිරසාරව උපයෝගී කර ගත හැකි මාධ්‍යයන් ගවේෂණය කිරීම සඳහා පහසුකම් සපයයි.

    මෙම මූලාරම්භයේ වැදගත්කම අවබෝධ කරගත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා විසින් කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ ශ්‍රී ලාංකික ආයතන සහ රුසියාවේ රුස්ග්‍රැෆීන් ආයතනය අතර ග්‍රැෆීන් සහ ඒ ආශ්‍රිත යෙදුම් පිළිබඳ වියහැකි සහයෝගීතාව පිළිබඳව අතථ්‍ය සාකච්ඡාවක් 2021 ජුනි 16 වැනි දින සංවිධානය කරන ලදී.

    මිනිරන්වලින් නිපදවනු ලබන ග්‍රැෆීන්, බහු ආකාරවල නවීන යෙදුම් සඳහා භාවිත වන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වීම සඳහා ඊට විශාල හැකියාවක් ඇත. 90% කට වඩා සංශුද්ධතාවක් සහිත ලොව හොඳම මිනිරන් ශ්‍රී ලංකාව සතුව පවතින අතර, ඓතිහාසික යුගයේ සිට සිදුකරන ලද මිනිරන් කැනීම් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී උච්චතම ස්ථානයට පැමිණ ඇත.

    මෙම රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ හා නිෂ්පාදන ආයතන සහ රුස්ග්‍රැෆීන් ආයතනය අතර සහයෝගිතාව විධිමත් කිරීම සඳහා අන්‍යෝන්‍ය එකඟතාවයකට එළඹෙන ලදී.

    රුස්ග්‍රැෆීන් හි ප්‍රධාන විධායක මැක්සිම් රිබින් මහතා මෙම සාකච්ඡාවට සහභාගී විය. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සමඟ තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා සහ රාජ්‍ය අමාත්‍යාංශයේ හා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියහ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) සභාපති මහාචාර්ය ඒ. සුමතිපාල මහතා සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය එච්.ඩබ්ලිව්.එම්.ඒ.සී. විජයසිංහ මහතා සහ ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SLINTEC) අධ්‍යක්ෂ මංජු ගුණවර්ධන මහතා, ආචාර්ය නුවන් සිල්වා මහතා සහ ආචාර්ය ලක්ෂිත පහළගෙදර මහතා මෙහි දී ශ්‍රී ලාංකික ආයතන නියෝජනය කළහ.