ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026–2030 දියත් කෙරේ

    June, 16, 2026

    අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා 'තිරස් අංශ' හයක් (Horizontals) සහ 'ප්‍රමුඛ අපනයන අංශ' අටක් (Verticals) හඳුනා ගැනේ.

    ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026 ජූනි 16 වන දින නිල වශයෙන් දියත් කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.

    එසේම,  කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පර්නාන්දු මහතා ඇතුළු රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් ද, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් ද මෙයට එක්ව සිටියහ.

    මීට අමතරව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරුන් ද, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කළමනාකාර අධ්‍යක්ෂ Shannon Cowlin මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අංශ ආර්ථික විද්‍යාඥ Nyda Mukhtar මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    තවද, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන්, අපනයනකරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන්, සංවර්ධන හවුල්කරුවන් සහ තවත් ගෞරවනීය ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

    මෙම 'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 4 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන්  සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් මෙම සැලැස්ම සකස් වී ඇත.

    රජයේ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අභිලාෂකාමී මෙන්ම යථාර්ථවාදී අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර තිබේ.

    ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළඳපල සඳහා සේවය සපයන තරඟකාරී, සැපයුම් දාම (Logistics) සහ දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන දැක්මයි. මෙම උපායමාර්ගික සැලැස්ම 'තිරස් අංශ' (Horizontals) සහ 'ප්‍රමුඛතා අංශ' (Verticals) යන අන්තර් සම්බන්ධිත ප්‍රධාන කුළුණු දෙකක් වටා ව්‍යුහගත වී ඇති අතර එය ලංකාවේ අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීම, විවිධාංගීකරණය සහ තිරසාර වර්ධනයට අවශ්‍ය පදනම සකසනු ලබයි. සියලු ප්‍රමුඛතා අංශවල වර්ධනයට සහ ව්‍යාප්තියට සහාය වීම සඳහා අවශ්‍ය පදනම සපයන තිරස් අංශ (Horizontals) අතරට පහත දෑ ඇතුළත් වේ:

    1. වෙළඳ සැපයුම් (Logistics) සහ ඒකාබද්ධ මධ්‍යස්ථාන මෙහෙයුම්
    2. වෙළඳ පහසුකම් සැලසීම
    3. වෙළඳ මූල්‍ය සහ ව්‍යාපාරික හා ආයෝජන පරිසර ප්‍රතිසංස්කරණ
    4. වෙළඳ ප්‍රවර්ධනය සහ වෙළඳපල සබඳතා
    5. ගුණාත්මක කළමනාකරණය, ප්‍රමිති, සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අනුකූලතාව
    6. නිපුණතා සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය

    අපනයන විවිධාංගීකරණය ඉහළ නැංවීම, අගය එකතු කිරීම වැඩි කිරීම සහ ගෝලීය වෙළඳපල තුළ ශ්‍රී ලංකාව වඩාත් තරඟකාරී ලෙස ස්ථානගත කිරීම සඳහා ප්‍රමුඛ අපනයන අංශ අටක් (08) හඳුනාගෙන තිබේ:

    1. මෝටර් රථ උපාංග
    2. ඛනිජ පදනම් කරගත් කර්මාන්ත
    3. රබර් ආශ්‍රිත කර්මාන්ත
    4. සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම ඇතුළුව)
    5. කුළුබඩු සහ සාන්ද්‍රණයන්
    6. ඩිජිටල් නිෂ්පාදන සහ සේවා
    7. විදුලි හා විද්‍යුත් උපාංග
    8. සැකසූ ආහාර හා පාන වර්ග

    මෙම ජාතික සැලැස්ම සකස් කිරීමේදී රජයේ ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ දායකත්වය ලබාගෙන ඇත,. 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පැවැති සාකච්ඡා සහ 2026 ජනවාරි මාසයේ පැවැති තහවුරු කිරීමේ වැඩමුළු හරහා මේ සඳහා පුළුල් පොදු එකඟතාවක් ලබාගෙන තිබේ.

    ශක්තිමත් පාලන සහ අධීක්ෂණ රාමුවක සහාය ඇතිව මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහා, දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් රජය අපේක්ෂා කරයි. මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.