ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය නැංවීමට වටවල වැවිලි සමාගමෙන් ශක්තිමත් පියවර රැසක්

    September, 20, 2021

    තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (Watawala Plantations PLC-WPL) තිරසාර කෘෂිකාර්මික ක‍්‍රමෝපායන් දිරිගැන්වීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ලොව පුරා පාරිසරික අභියෝගයන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟම ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය හා ඊට අයත් අංශ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා වන සිය සැලසුම් තව තවත් ශක්තිමත් කර ඇත.

    ”වටවල වැවිලි සමාගම සෑම විටම ක‍්‍රියාත්මක වී ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන්. ස්වභාවධර්මය සහ පාරිසරික සමතුලිතතාව මත දැඩි ලෙස විශ්වාසය තබන සමාගමක් වශයෙන්, ඉදිරි පරම්පරා ගණනාවකගේ යහපත උදෙසා ස්වාභාවික සම්පත් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා කර්මාන්තය තුළ බලපෑම් සහගත වෙනස්කම් කිරීම අපගේ අරමුණයි. රට පුරා පිහිටි කෘෂි ව්‍යාපාර සඳහා තිරසාර බව සහතික කිරීම සඳහා නවීන කෘෂි ප‍්‍රතිපත්ති සමඟ දැනට පවතින කෘෂි ප‍්‍රතිපත්ති නැවත පරීක්ෂා කිරීම, නැවත ප‍්‍රතිසංස්කරණය හා නැවත සැකසීම ද මෙයට ඇතුළත් වනවා” යනුවෙන් වටවල වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා පැවසීය.

    වටවල වැවිලි සමාගම එහි ප‍්‍රධාන පාම් ඔයිල් හා කිරි යන දෙවර්ගයේම තිරසාර නිෂ්පාදන ක‍්‍රමෝපායන් සඳහා කැපවී සිටී. එනිසා මෙම තිරසාර දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගමේ කටයුතු නෛතික, ආර්ථික, පාරිසරික හා සමාජීය යන සෑම අංශයකින්ම ක‍්‍රියාක්මක වෙයි.

    උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කරන වටවල ඬේරි ලිමිටඞ් සමාගම (Watawala Dairy Limited-WDL), දැනට වෙළෙඳපොලේ ඇති වෙනත් ඕනෑම අමුද්‍රව්‍ය අභිබවා යන පෝෂණයෙන් අනූන ඝන මීටර් 4000 කට වැඩි ගොම පොහොර මෙටි‍්‍රක් ටොන් 750 කට වැඩියෙන් නිෂ්පාදනය කරයි. එය ශ‍්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද විශාලතම ගව පොහොර ප‍්‍රමාණය වෙයි.

    තවද වටවල වැවිලි සමාගම කාලීන අවශ්‍යතාවක් වන කොම්පෝස්ට් නිෂ්පාදනය ද ආරම්භ කර තිබේ. නාකියාදෙනිය පාම් තෙල් නිෂ්පාදන (පරිශ‍්‍රය) මෑතකදී විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය අවම, කාබන් වලින් සමන්විත සංයෝග වන ගොම, රනිල කුලයේ බෝග, කාබයිඞ්වලින් ලබාගන්නා මන්ඩි ආදී පොහොර නිෂ්පාදනයට ඉතා හොඳ අමුද්‍රව්‍ය වලින් සැකසූ නවතම වටවල සරුපස කොම්පෝස්ට් මෑතකදී හඳුන්වා දෙන ලදී. එය විවිධ බෝග වර්ග සදහා යෙදිය හැකි බහුකාර්‍ය කාබනික පොහොරක් වේ.

    බැර ලෝහ, රෝහල් අපද්‍රව්‍ය සහ අනෙකුත් විෂ සහිත ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන වෙළෙඳපොලේ ඇති වෙනත් කොම්පෝස්ට්වලට වඩා මෙම පොහොර සුවිශේෂී වේ. මීට සාපේක්ෂව වටවල සමාගම උසස් තත්වයේ නිෂ්පාදන ඔබ වෙත ගෙන එන්නේ දැඩි රසායනාගාර පරීක්ෂණ හා අධීක්ෂණ භාවිතයන්ට ලක් කිරීමෙන් පසුව ය.

    මේ අතර, වටවල වැවිලි සමාගම ද එහි කාබන් අඩිපාර අඩු කිරීම සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා දැඩි ලෙස කැපවී සිටී. මෙය සිදු කිරීම සඳහා සමාගම විසින් නවතම RSPO Palm GHG කැල්කියුලේටරය සහ GHG ප්‍රොටෝකෝල ගිණුම්කරණ ප‍්‍රමිති උපයෝගී කරගනිමින් හරිතාගාර වායු විමෝචනය වාර්තා ගත කොට නියාමනය කරයි. වාර්තා වූ ශුද්ධ CO2 විමෝචනය මෙටි‍්‍රක් ටොන් 13726.42 ලෙස තීරණය කරන ලදි. 2018 සිට 2019 දක්වා පාම් තෙල් නිෂ්පාදනය 10% කින් වැඩි වුවද, කාබන් තීව‍්‍රතාවය 1.684 t CO2 e/ MT සිට 1.156 t CO2 e/ MT දක්වා අඩු වී ඇත. ක‍්‍රියාකාරීත්වයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා RSPO සැපයුම් දාමය සහ RSPO මූලධර්ම හා නිර්ණායක සහතිකය අතැතිව සිටින වටවල වැවිලි සමාගම සිය සැපයුම් දාමය පුරාවටම තිරසාර නිෂ්පාදනයක් සඳහා වන හිමිකම් සහතික කිරීමට සහ සහතික කළ තිරසාර ඔයිල් පාම් වගාවන් සඳහා වෙහෙසී කටයුතු කරයි.

    ශක්තිමත් න්‍යාය පත‍්‍රයක් සහ දැක්මක් සහිත වටවල වැවිලි සමාගම ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ තිරසාරභාවය තවදුරටත් සහතික කිරීම සඳහා කටයුතු කරයි. දිවයින පුරා ප‍්‍රදේශ කිහිපයකට පිරිසිදු ජලය සැපයීම ඇතුළු සමාජ ව්‍යාපෘති කිහිපයකම ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරන වටවල වැවිලි සමාගම සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ පරිසරය හිතකාමී වෙළෙඳ නාමයක් ලෙස සන්ධිස්ථානයක් සලකුණු කොට තිබේ.

    වටවල වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, බිනේෂ් පනන්වල මහතා