ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු සඳහා ඕමානයේ ඉහළ ඉල්ලුමක්

    April, 16, 2021

    ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අවධාරණ කළේය. ශ්‍රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්‍රිය හයිපර් මාකට් දාමයන් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව ඕමාන සුල්තාන් රාජ්‍යයේ අලෙවිසැල් 12 ක්‌ට වැඩි ප්‍රමාණයක් සහිත කැරෙෆෝර් ඕමාන් හයිපර් මාකට් දාමයට ශ්‍රී ලංකා පළතුරු හා එළවළු වර්ග අපනයනය කිරීම ඉහළ නැංවීම සඳහා කැරෙෆෝර් ඕමාන් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් අටක් අතර අන්තර්ජාලය ඔස්සේ පැවති   අන්තර් ව්‍යාපාර රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.

    ට්‍රැඩ්ලන්කා ඇග්‍රිකල්චරල් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම, නිඩ්‍රෝ සප්ලයි (පුද්ගලික) සමාගම, දේශාන් ඉන්ටර්නැෂනල් ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, නෙල්නා සමූහය, සීආර් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ජැග්‍රෝ පුද්ගලික සමාගම සහ ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් පුද්ගලික සමාගම යන ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් සීමාසහිත කැරෙෆෝර් ඕමාන් සමාගම සමඟ මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට අන්තර්ජාලය ඔස්සේ  සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පළතුරු හා එළවළු ඒකාබද්ධ තොග අපනයනය කිරීම සඳහා එකඟ විය.

    මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට කැරෙෆෝර් ඕමාන් සමාගමේ රටේ කළමනාකරු ඇලේන් එන්ජල්බර්ට් සහ සාමාන්‍යාධිකාරී (ආහාර) පියරේ රහල් යන මහත්වරු සහභාගී වූහ.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසිංහ මහතා, සහකාර අධ්‍යක්ෂ ගයනි විජේතිලක මහත්මිය සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය ද මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට එක්වූහ.