ශ්‍රී ලංකාවේ ලොකුම බිස්කට් හා චොකලට් කර්මාන්තශාලාව හෝමාගමට. ධම්මික පෙරේරාගේ තවත් දැවැන්ත වැඩක්

    March, 3, 2021

    • ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක්
    • නව රැකියා 1,500 ක්
    • දර්ශනීය කොකෝවා වගාවක්
    • කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි

    ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත.

    අද දෙරණ Biz වෙත වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

    මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේ දී අපට දැකගත හැකිවනු ඇත.

    මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.