August, 31, 2026
ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම පුද්ගලික ජපන් සංචාරක කණ්ඩායම පසුගිය (30) දා කොළඹට ළඟා විය. Little Japan වැඩසටහන යටතේ සංචාරකයින් 250 කට වැඩි පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට සහ දෙරට අතර මිත්‍රත්වයට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව සංවිධායකයෝ පවසති.
Japan Returns to Sri Lanka යන තේමාව යටතේ මාස ගණනාවක සැලසුමක සාර්ථක ප්‍රතිඵලයක් වන මෙම සංචාරය දෙරට අතර සංස්කෘතික, වාණිජ සහ මහජන සබඳතා අලුත් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ජපන් වැසියන් සහ ව්‍යාපාරිකයන් තුළ ඇති විශ්වාසය මෙමඟින් පැහැදිලි වන බව සංවිධායකයින්ගේ අදහස වී ඇත. එසේම මේ හරහා ඉදිරි මාසවලදී සංචාරක, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍රවලින් දෙරටටම වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත.
ජපන් දූත පිරිසේ ප්‍රධානීන් වන Arai Koyo (Sam San) මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ලෝකයේ වෙනත් කිසිඳු රටක නොමැති ආකාරයේ සුහදශීලී බවක් සහ පොහොසත් සංස්කෘතියක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඒ නිසාම මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳව ජපානයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. ජපන් ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව අපට දැකිය හැකියි. ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ උනන්දුව ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි විශාල සංචාරක පිරිසක් කැඳවාගෙන ඒමට අපි කටයුතු කළා. මේ තුලින් දෙරට අතර පවතින සබඳතාවය තව දුරටත් ඉදිරියටම ගෙන යාමට හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙනි.
Colombo International Airport Hotel හි සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරනු ලැබූ Little Japan වැඩසටහන යටතේ මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙම වැඩසටහන මඟින් ජපන් සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ජනතාව සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරයි. වසර ගණනාවක් ජපානයේ ජීවත්වෙමින් රැකියාවේ නියුතුව ඇති ආචාර්ය පෙරේරා මහතාගේ අත්දැකීම් මත 2024 වසරේදී සාමාජිකයන් 45 දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික කණ්ඩායමකින් ඇරඹි Little Japan වැඩසටහනට අද වන විට සාමාජිකයන් 250 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ශක්තිමත් වී ඇත.
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහභාගීත්වය තුලින් මෙම සංචාරයේ ඇති ජාතික වැදගත්කම මනාව අවධාරණය කරනු ඇත. එමෙන්ම දෙරට අතර ගුවන් සේවා සහ සංචාරක සබඳතා තවදුරටත් ඉහල නැංවීම සඳහා රජයේ සහයෝගයද ඒ තුලින් මනාව පිළිබිඹු වේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා Little Japan සංකල්පය මෙරට තුළ ක්‍රියාවට නැංවීමට ආචාර්ය රුවන් පෙරේරා මහතා දක්වන ලද සුවිශේෂී දායකත්වය සහ කැපවීම, පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළකරන ලදී.
ජපන් ජාතිකයින් 250කට වැඩි පිරිසක් මෙරටට පැමිණීමේ අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ Little Japan වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය රුවන් පෙරේරා මහතා “මේ තරම් විශාල ජපන් සංචාරකයින් පිරිසක් එකවර මෙරටට පැමිණීම Little Japan වැඩසටහන සහ ජපානයේ අපගේ හවුල්කරුවන් අතර වසර ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු විශ්වාසවන්ත සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සංචාරයෙන් පසු දෙරටටම සාර්ථක සංචාරක සහ ව්‍යාපාරික ප්‍රතිලාභ ලබාදීම සඳහා කටයුතු කිරීම අපගේ මීළඟ ඉලක්කය වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි, ජපන් ආයෝජන සහිත Colombo International Airport Hotel විසින් මෙම දූත පිරිස පිළිගැනීමට කටයුතු කළ අතර එය ඔවුන්ගේ සංචාරය පුරා ප්‍රධාන නවාතැන්පොළ ලෙසද කටයුතු කරනු ඇත. මෙවැනි විශාල ප්‍රමාණයේ ජාත්‍යන්තර කණ්ඩායම් සහ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවට පිළිගැනීමේදී මෙම හෝටලය ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මේ තුලින් මනාව පැහැදිලි වේ.
මෙම දූත පිරිසේ පැමිණීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී Little Japan වැඩසටහනේ සහ Colombo International Airport Hotel හි නියෝජිතයන් මෙම සංචාරයේ ඇති වැදගත්කම පැහැදිලි කළහ. ඉදිරි වසරවලදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙමඟින් ලැබෙන අවස්ථා පිළිබඳවද එහිදී ඔවුන් පෙන්වා දුන්හ.
Video Story