May, 15, 2026
පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඉදිරි සති කිහිපය ඇතුළත මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හමුවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම සඳහා, අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම, තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් පවසයි.
ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට ඩීසල් ලීටරයක් වෙනුවෙන් රු. 100ක සහනාධාරයක් ලබා දෙන බව සඳහන් කර ඇති අතර රජයේ එම ක්‍රියාමාර්ගය, මූල්‍ය අරමුදලේ පස්වන හා හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ දී මූල්‍ය අරමුදලේ එකඟතාවයන් සමඟ අනුකූල වන්නේදැයි යනුවෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය මේ බව පැවසුවාය.
“මෙම වැඩසටහන අපගේ විධායක මණ්ඩලය හමුවට ගෙන ඒමට පෙර සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූ පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා. අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම ඉන් එකක්. සම්පූර්ණ පිරිවැය ආවරණය කෙරෙනවා වගේම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කිරීම ද මෙහිදී වැදගත් වෙනවා. ඉදිරි සති කිහිපය තුළ දී මෙම සමාලෝචනය අනුමැතිය සඳහා විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත“, යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
Video Story