ශ්‍රී ලංකාව හා ඊශ්‍රාලය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර

    May, 3, 2021

    ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා වෙළඳපොළ ප්‍රවණතා, විභවයන් සහ ඊශ්‍රායලයට විශේෂිත වූ ප්‍රවේශ/පුළුල් කිරීමේ නාලිකා පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 28 වැනි දින පැවැත්විණ.  “සාම්ප්‍රදායික වෙළඳපොළෙන් ඔබ්බට වර්ධනය වන්න” යන තේමා යටතේ පැවැති මෙම වෙබ්නාර් සාකච්ඡාව ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබිණ. ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE), ඊශ්‍රායල් වාණිජ මණ්ඩල සම්මේලනය (FICC) සහ ඊශ්‍රායල්-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

    ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) අධ්‍යක්ෂ (මෙහෙයුම්) මේනකා වන්නිආරච්චි මහත්මිය සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත මහතා මෙම වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කරමින් සිය අදහස් දැක්වූහ.

    ඊශ්‍රායල් වාණිජ මණ්ඩල සම්මේලනයේ (FICC) උප සභාපති (ජාත්‍යන්තර සබඳතා සහ ව්‍යාපාර) සියෙව් ලාවී මහතා සහ ඊශ්‍රායල්-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ඇනට් බර්න්ස්ටයින් - රීච් මහත්මිය විසින් ශ්‍රී ලාංකික අපනයනකරුවන් විසින් අනුගමනය කළ යුතු නව ප්‍රවණතා/පශ්චාත් කොවිඩ්-19 උපාය මාර්ග සමඟ වෙළඳ අවස්ථා, අවශ්‍යතා/ප්‍රමිතීන් සහ ඊශ්‍රායල් වෙළඳපොළට පිවිසීමට ඇති බාධක පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මනීෂා රොද්‍රිගෝ මහත්මිය මෙම වෙබිනාර් සාකච්ඡාව මෙහෙයවූවාය.

    ඊශ්‍රායලයේ විවිධ වෙළඳපොළ/ ප්‍රදර්ශනවල දී ශ්‍රී ලංකා අපනයනකරුවන් විසින් නිතිපතා ඊශ්‍රායල වෙළඳපොළ විනිවිද යාහැකි වන පරිදි තම නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීමේ වැදගත්කම තානාපති විල්පාත මහතා සිය අදහස් දැක්වීමේ දී පෙන්වා දුන් අතර, තේ, ඇඟලුම්, මාළු නිෂ්පාදන, ආහාරපාන, කුළුබඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, තොරතුරු තාක්ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ ඊශ්‍රායල් වෙළඳපොළ වෙත කෙරෙන ශ්‍රී ලාංකික අපනයන පරිමාව ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍ර ලෙස අවධාරණය කළේය.