ශ්‍රී ලංකාෙව් නීති වෘත්තිකයින් සඳහා ජංගම යෙදුමක් නිර්මාණයට එක්සත් ජනපදයෙන් අරමුදල්

    April, 5, 2021

    එක්සත් ජනපදයෙන් ලැබූ සහාය සමඟින්, කොළඹ නීති සංගමය (Colombo Law Society (CLS)) මෑතක දී ජංගම යෙදුමක් (Mobile App) දියත් කරන ලද අතර, එම සංගමයේ සාමාජිකයින්ට ඔන්ලයින් නොහොත් මාර්ගගත නීති සම්පත් සහ අධිකරණ දිනදර්ශන සඳහා එමගින් ප්‍රවේශය ලබා දෙනු ලැබේ. අධිකරණ දින දර්ශනය සහ නීති වාර්තා කරා ඉතා පහසුවෙන් ප්‍රවේශවීමට හැකිවීමත් සමගින් නීතිවේදීන්ට වඩාත් හොඳින් මහජනයා වෙත සේවා ලබාදීමට හැකිවනු ඇත.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් මෙම ජංගම යෙදුම සඳහා අරමුදල් සපයන ලද අතර ශ්‍රී ලංකාවේ වෘත්තීමය නීති සංගම් සඳහා ඇතිකළ එවැනි පළමු යෙදුම වේ. CLS සාමාජිකයින් වන කාර්යබහුල නීතිවේදීන්ට තමන්ගේ ජංගම උපාංග හරහා නවීනතම අධ්‍යාපනික සම්පත් කරා ප්‍රවේශවීමට මෙම ජංගම යෙදුම ඉඩ සලසනු ඇති අතර තමන්ගේ දවසේ වැඩසටහන කොතෙක් කාර්යබහුල වුවත් අළුත්ම පර්යේෂණ සහ තොරතුරු කරා කඩිනමින් සම්බන්ධවීමට ඔවුන්ට හැකිවනු ඇත.

    මෙම ජංගම යෙදුම දියත් කිරීම සඳහා අද (05) දින පැවති උත්සවයක දී ශ්‍රී ලංකාවේ අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මෙසේ පැවසීය. “අද දින දියත් කරන මෙම ජංගම යෙදුම හරහා එහි සේවාවන් කරා ඉක්මනින් හා ඵලදායී ලෙස ප්‍රවේශ විය හැකි වනු ඇති බවත් මේ යෙදුමෙන් ලබාදෙන නව සේවාවන් සාමාජිකයින් ප්‍රයෝජනයට ගනු ඇති බවත් මට නිසැකයි“.

    මෙම යෙදුම, ශ්‍රී ලංකාවේ නීති වෘත්තිකයින් වෙත එ.ජ. අරමුදල්වලින් ලබාදෙන සහායේ එක් අංගයක් පමණක් වේ. එක්සත් ජනපද සහාය ලබමින් CLS විසින් හල්ෆ්ස්ඩොප් නීති සඟරාවේ (Hulftsdorp Law Journal) 2020 සංකරණය එළිදක්වන ලදී. මෙම නීති සඟරාව සහ අන්තර්ජාලය හරහා සිදුකරන නීති පුහුණු, දිවයින මුළුල්ලේ විසිර සිටින නීතිවේදීන්ට සහ නීති සිසුන්ට අවහ්‍ය කරන ක්‍රමෝපායයන් සහ ප්‍රායෝගික මෙවලම් සපයාදෙනු ලබයි. කොළඹ පාදක කරගෙන ක්‍රියාත්මක වන නීතිවේදීන් 4,000 ඉක්මවන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අනුබද්ධිත වෘත්තීයමය සංගමය වන CLS හි සාමාජිකත්වය දරයි.

    “නීති අධ්‍යාපනය අඛණ්ඩව සිදුකිරීම සහ තොරතුරු කරා කඩිනමින් පිවිසීමට ඇති හැකියාව ශ්‍රී ලංකාවේත් ලෝකයේත් වේගයෙන් වෙනස්වන සමාජ - ආර්ථික පරිසරයේ අවශ්‍යතාවයන් සමගින් ගැලපෙන සේ ක්‍රියාකිරීම සඳහා නීති වෘත්තිකයින්ට වැදගත් වනවා“ යැයි USAID මෙහෙවර අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් පැවසුවේය.

    කොවිඩ්-19 වසංගතය අතරතුර CLS, ශ්‍රී ලංකාවේ නීතිවේදීන් සහ නීති සිසුන් සඳහා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාදීමේ පෙරමුණ ගත් අතර, අනාගතයේ CLS සිදුකරන පුහුණු සඳහා රාමුවක් සැපයීමට අඛණ්ඩ නීති අධ්‍යාපන මාර්ගා්පදේශයක් සම්පාදනය කරන ලදී. එක්සත් ජනපදයේ සහාය ඇතිව CLS විසින් අන්තර්ජාලය හරහා පවත්වන නීති පුහුණු සැසි 25ක් පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ට සූක්ෂ්ම පුහුණු ද, කණිෂ්ඨ සහ ආධුනික නීතිවේදීන්ට වැඩමුළු ද පවත්වනු ඇත.