ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල් දෙකම සාර්ක් වරණීය වෙළෙඳ විධිවිධාන ගිවිසුම (SAPTA), දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම (SAFTA), ගෝලීය වෙළෙඳ වරණ ක්‍රමය (GSTP), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) සහ යෝජිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල ප්‍රවේශය (BIMSTEC) යන ගිවිසුම්වල පාර්ශ්වකාර සාමාජික රාජ්‍යයන් වශයෙන් කටයුතු කරනු ලබයි. එහෙත්, එම ගිවිසුම් යටතේ විශේෂ විධිවිධාන පැවතිය ද දෙරට අතර පවතින වෙළෙඳාම අවම මට්ටමක පවතී.
අග්‍රාමාත්‍යවරයා පසුගිය මාර්තු මස බංග්ලාදේශයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට කඩිනමින් එළඹීමේ අවශ්‍යතාව දෙරටේ නායකයින් විසින් පිළිගෙන ඇත. එසේම, එහි මුල් පියවර වශයෙන් කෙටි භාණ්ඩ ලැයිස්තුවක් සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ හැකියාව සොයා බැලීමට ද එකඟතාව පළ වී ඇත.
ඒ අනුව, බංග්ලාදේශය සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් එරටේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා පැවත්වීම පිණිස වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.