ශ්‍රී ලංකා එක්ස්පෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී

    May, 12, 2026

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන "ශ්‍රී ලංකා එක්ස්පෝ" (Sri Lanka Expo), 2027 වසරේ ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මුලින් 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතාවන් හමුවේ ජාත්‍යන්තර වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් 2027 ජනවාරියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මෙම දැවැන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත අතර දේශීය අපනයනකරුවන් 750ක් පමණ සහ ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍ය නියෝජිතයින් ඇතුළු ජාත්‍යන්තර සහභාගීවන්නන් 1,500ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ වෙළඳ සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් ලෝක වෙළඳපොළට හඳුන්වා දෙමින් ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර රැසක් මෙහිදී අවධානයට ලක් කෙරේ.කාර්මික අපනයන අංශය යටතේ ඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා, මැණික් සහ ස්වර්ණාභරණ, යාත්‍රා තැනීම, ඉංජිනේරු සහ මෝටර් රථ සංරචක, රබර් හා පොලිමර් නිෂ්පාදන, විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ජීවන රටාව සහ හස්ත කර්මාන්ත නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන සහ ඛනිජ හා ඛනිජ පදනම් කරගත් නිෂ්පාදන ඇතුළත් වේ.

    කෘෂිකාර්මික අපනයන අංශය යටතේ තේ, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධීවර නිෂ්පාදන, සැකසූ ආහාර සහ බීම, ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන, කැපූ මල් සහ කොළ, විසිතුරු මත්ස්‍යයින්, පලතුරු සහ එළවළු ප්‍රදර්ශනය වනු ඇත.

    අපනයන සේවා යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ සේවා, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුවතා සහ සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සේවා ප්‍රදර්ශනය වනු ඇත.

    නියමිත දිනට ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අවස්ථාව ලබා දෙමින් ප්‍රදර්ශකයන් සදහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 දක්වා දීර්ඝ කර ඇත.

    ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 හි ආයෝජක සංසද, කර්මාන්ත-විශේෂිත සැසි, ව්‍යුහගත ව්‍යාපාර අතර හමුවීම් (B2B), ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ප්‍රදර්ශනය කරන විලාසිතා සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග දේශීය ආහාර වලින් සැකසූ සූපශාස්ත්‍ර සංදර්ශන සහ නවෝත්පාදන ප්‍රදර්ශන ද ඇතුළත් වනු ඇත.

    මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය උපාය මාර්ගික හවුල්කරුවන් ලෙස සහයෝගය දක්වන අතර ප්‍රදර්ශනයට අදාල ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.srilankaexpo.lk වෙබ් අඩවියට පිවිසෙන්න.