ශ්‍රී ලංකා බෝට්ටු අප්‍රිකා වෙළෙඳපොළට

    September, 24, 2021

    ශ්‍රී ලංකා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව, මොසැම්බික් සහ නැමීබියාවේ ධීවර අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා බෝට්ටු කර්මාන්තය සඳහා විය හැකි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 සැප්තැම්බර් 13 දින තොරතුරු සැපයීමේ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය. ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව සඳහා ලාභදායි අවස්ථා ලබා දෙන මෙම කලාපයේ මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපොලවල් දියුණු කිරීම පිළිබඳව මෙම වෙබිනාර් සාකච්ඡාවේ දී අවධානය යොමු විය. මොසැම්බික් සහ නැමීබියාවේ ධීවර නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් යුරෝපීය හා ආසියානු වෙළෙඳපොළ වෙත අපනයනය කෙරේ.

    මෙම වෙළෙඳපොළවල් දෙකෙහි පවතින අවස්ථා සහ ප්‍රජා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ධීවර කර්මාන්තය සඳහා යොමු කෙරෙන ජාත්‍යන්තර ආයෝජන සහ ප්‍රදානයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරසේකර මහතා අවධාරණය කළේය. දැනටමත් එම රටවල් මේ කලාපයේ ධීවර ව්‍යාපාර ආරම්භ කර ඇති බැවින්, ස්පාඤ්ඤය, චීනය සහ ජපානය යන රටවලින් මේ සඳහා තරඟයක් පැමිණේ. ඉන්දියානු සහ අත්ලාන්තික් සාගරයේ අස්වනු නෙලීමේ ධාරිතාව සංතෘප්ත වී නොමැති වීම මඟින් නව ආයෝජන/ව්‍යාපාර මෙම වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා උනන්දු කරවයි. සුදුසු ප්‍රමාණයේ සහ මෝස්තරවල යාත්‍රා හඳුන්වා දීම තුළින් ඉහත දෙරටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ධීවර කර්මාන්තයට යොමු වීමට උනන්දු කළ හැකි වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන සමාගම්වලට ධාරිතාව පවතී.

    සාම්ප්‍රදායික අපනයන ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය යුරෝපා හා ජපන් කර්මාන්තවලට සමාන බෝට්ටු තාක්‍ෂණය ප්‍රවර්‍ධනය කරන උසස් ව්‍යාපාරික ආකෘති මඟින් මෙම වෙළෙඳපොළට විනිවිද යාමේ අවශ්‍යතාවය රාජ්‍ය ලේකම් දම්මික මාතරආරච්චි මහතා ප්‍රකාශ කළේය. දුප්පත්කම තුරන් කිරීමේ සහ කලාපයේ වෙසෙන ප්‍රජාවේ පෝෂණ පරතරය සපුරාලීමේ දෘෂ්ටි කෝණයෙන් යුතුව බෝට්ටු සඳහා ඇති ඉල්ලුම සපුරාලිය යුතු බව සහභාගී වූවන් පැවසීය. ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදකයින් සඳහා පවතින අවස්ථා සෙවීම සඳහා, ඉහත රටවල් දෙකේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් අමරසේකර මහතා එකඟ විය. ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහා පහසුකම් සැපයීමේ කාර්යභාරය ඉටු කිරීමට රාජ්‍ය ලේකම් මාතරආරච්චි මහතා එකඟ විය. මෙම කර්මාන්තය නියෝජනය කරමින්, නීල් මැරීන් සමාගමේ කපිල සුමනපාල, හයිරු නේවල් ක්‍රාෆ්ට් එන්ජිනියරිං සමාගමේ ඉසෙඩ්.එම්. හයිරු, ධනුෂා මැරීන් සමාගමේ සුමිත්‍රා ප්‍රනාන්දු සහ සචිත්‍රා ප්‍රනාන්දු, කලම්බු ඩොක්යාඩ් පීඑල්සී සමාගමේ ඩී.වී. අබේසිංහ මහතා, බීඒඑෆ්එෆ් පොලිමෙක් සමාගමේ ඉන්ද්‍ර රාජපක්ෂ යන අය සහභාගී වෙමින් අප්‍රිකානු කලාපයට අදාළ ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගත්හ. දූත මණ්ඩලයේ වාණිජ අංශය මෙම අවස්ථාව සංවිධානය කොට සම්බන්ධීකරණය කළේය.