ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමට කැබිනට් අනුමැතිය

    July, 1, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය හා ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

    එම කාර්යයන් සිදු කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ පුළුල් අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන අතර, නියාමන හා අධීක්ෂණ ලියවිලි විශාල ප්‍රමාණයක් සැකසීම, සමාලෝචනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කරනු ලැබේ.

    එකී කාර්යයන්වලින් බහුතරයක් භෞතික වාර්තා කළමනාකරණය මඟින් සිදු කරන අතර, එම කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය මත පදනම් වූ අධීක්ෂණ විසඳුමක් ක්‍රියාත්මක කිරීම, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව සිදු කරනු ලැබ ඇති අවශ්‍යතා තක්සේරුවක් මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා තාක්ෂණය මත පදනම් වූ අධීක්ෂණ විසඳුමක් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.