May, 21, 2026
ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA), මෙරට ආයෝජන වෘත්තිය සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වසර 25ක් පුරා සිදුකළ දායකත්වය සනිටුහන් කරමින්, පසුගියදා කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු බිමේදී වෙළඳපොළ ආරම්භක සීනුව නාද කරමින් සහ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරමින් සිය 25 වැනි සංවත්සරය සැමරීය. සීනුව නාද කිරීමෙන් අනතුරුව, තැපැල්පතිවරයා විසින් සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම සිදු කරන ලදී.
ලෝක ව්‍යාප්ත CFA ආයතනයේ සාමාජික සංගම් ජාලයකට අයත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය දෙදහස් එක වසරේදී පිහිටුවන ලද්දකි. එය මෙරට CFA සුදුසුකම්ලාභීන්ගේ සහ ඒ සඳහා හදාරන සිසුන්ගේ වෘත්තීය දියුණුව උදෙසා කැපවී ක්‍රියා කරයි. ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන්, ආයෝජන කළමනාකරුවන්, කොටස් විශ්ලේෂකයන්, බැංකු ක්ෂේත්රයේ වෘත්තිකයන්, ආයෝජන උපදේශකයන් සහ වෙනත් ජ්‍යෙෂ්ඨ මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු සීඑෆ්ඒ සුදුසුකම්ලාභීන් දෙසිය පනහකට අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරන අතර, දැනට මෙම පාඨමාලාව හදාරන සිසුන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට සංගමයේ සහාය හිමිවේ.
ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය විසින් ලොව පුරා පිළිගත් සීඑෆ්ඒ පාඨමාලාව මෙරට තුළ ප්‍රචලිත කරනු ලබන අතර, ඊට අමතරව සීඑෆ්ඒ ආයතනය මඟින් පිරිනමනු ලබන තිරසාර ආයෝජන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව වැනි අනෙකුත් සුදුසුකම් ද හඳුන්වා දෙයි. මෙම සංගමය මඟින් ප්‍රධාන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අතර 2025 වසරේදී දහනව වැනි වරටත් පවත්වනු ලැබූ පර්යේෂණ තරඟාවලියේ දේශීය අදියර, ප්‍රාග්ධන වෙළඳපොළ සම්මාන උළෙල සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙන්ම කොළඹ කොටස් හුවමාරුව සමඟ එක්ව මෙරට රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වනු ලබන මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ප්‍රධාන වේ. මීට අමතරව, වැඩමුළු සහ සම්මන්ත්රණ පවත්වමින් තිරසාර මූල්‍යකරණය පිළිබඳ නව දැනුම සහ ප්රවණතා ප්‍රවර්ධනය කිරීමට ද සංගමය අඛණ්ඩව කටයුතු කර ඇත.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ සභාපති රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය මෙසේ පැවසුවාය. “සංගමයේ විසිපස් වැනි සංවත්සරය සනිටුහන් කරමින් කොළඹ කොටස් හුවමාරුවේ ආරම්භක සීනුව නාද කිරීමට ලැබීම අපට සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම ඒ හරහා පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට ආයෝජන වෘත්තිය කෙතරම් දුරට ඉදිරියට පැමිණ තිබෙනවාද යන්න ද පිළිඹිබු කෙරෙනවා. මෙම අවස්ථාවේදී, වෘත්තීය සදාචාරාත්මක ප්රමිතීන් ආරක්ෂා කරමින් අනාගත වෘත්තිකයන් බිහි කිරීමට අප සංගමය නැවත වරක් ප්‍රතිඥා දෙනවා. එමෙන්ම මෙරට තුළ විනිවිදභාවයෙන් යුතු, ශක්තිමත් ප්‍රාග්ධන වෙළඳපොළක් සහ මූල්‍ය කර්මාන්තයක් අඛණ්ඩව ගොඩනැගීම වෙනුවෙන් අප සැමවිටම පෙනී සිටිනවා.”
ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය සැමවිටම කොළඹ කොටස් හුවමාරුව සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන අතර, කොටස් හුවමාරුව අඛණ්ඩව වසර අටක් තිස්සේ මෙම සංගමයේ ප්ලැටිනම් හවුල්කරු ලෙස ද කටයුතු කරයි. ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය සිය 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සුභාශිංසන එක් කළ කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර විසිපහ පුරා මෙරට මූල්‍ය සේවා කර්මාන්තය තුළ වෘත්තීයභාවය, සදාචාරාත්මක ප්රමිතීන්, ආයෝජන දැනුම සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සංගමය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. විශේෂයෙන්ම අධ්‍යාපනය, නව දැනුම සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් දක්වන කැපවීම තුළින් රටේ ප්‍රාග්ධන වෙළඳපොළ පද්ධතිය ශක්තිමත් කිරීමට ඔවුන් තිරසාර දායකත්වයක් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම, සංගමයේ අඛණ්ඩ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කළ සභාපතිවරයා, ඉදිරියටත් ආයෝජන ප්‍රජාව වෙනුවෙන් ආදර්ශමත් නායකත්වයක් මෙන්ම සේවාවක් සැපයීමට ඔවුන්ට ශක්තිය ලැබෙනු ඇතැයි ද ප්‍රකාශ කර සිටියේය.

(වමේ සිට දකුණට): ප්‍රධාන විධායක නිලධාරී අරුණ අල්විස් මහතා (CFASSL), කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරී නිලූපා පෙරේරා මහත්මිය, භාණ්ඩාගාරික එනිෂ්යා පෙරේරා මහත්මිය (CFASSL), ලේකම් ට්‍රැවිස් ගෝමස් මහතා (CFASSL), කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ සභාපති රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය (CFASSL), කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා, උප සභාපති නදීකා රණසිංහ මහත්මිය (CFASSL), අධ්යක්ෂ ිනුවන් ද සිල්වා මහතා (CFASSL), අධ්යක්ෂ සමල්කා අතුරාලිය මහත්මිය (CFASSL).

ඡායාරූපයෙන් දැක්වෙන්නේ, ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් අවස්ථාවයි.
Video Story