සම්පත් බැංකුව සිය ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව හඳුන්වා දෙයි

    August, 24, 2021

    • ශ්‍රී ලංකාවට ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය හඳුන්වා දුන් බැංකුවෙන් තවත් සුවිශේෂී නව්‍යකරණ සේවාවක්
    • වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවේ සියලු බැංකු පාරිභෝගිකයන්ට ආරක්ෂිතව මුදල් ආපසු ගැනීමේ හැකියාව උදා කර දෙයි

    සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපයේ ප්‍රථම වරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දුන් බව පසුගියදා නිවේදනය කරන ලදී.

    ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම සේවාවේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ ගනුදෙනුව සම්පත් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී. සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන තොරතුරු නිළධාරී අජිත් සල්ගාදු, ජාත්‍යන්තර වෙළෙඳපොල හා ණය පාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා යන මහත්ම මහත්මීන්ද ඊට එක් වූහ.

    මෙම සේවාව යටතේ සම්පත් WePay යෙදුම (app) භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මත දිස්වන QR කේතය ස්කෑන් කිරීම තුළින් දිවයින පුරා පිහිටුවා ඇති ඕනෑම සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ලබා ගැනීමේ හැකියාව සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන් වෙතද උදා කර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත.

    ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙහි තිරය හෝ මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව අවදානම අවම කිරීම හා  ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම සේවාව වර්තමානයේ ක්‍රියාත්මක ගෝලීය කොවිඩ් 19 වසංගත තත්වය තුළ වුවද ආරක්ෂිතව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම සඳහා කදිම විසඳුමක් වනු නිසැකය.

    1988 වසරේදී මෙරට ප්‍රථම බහු ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය හඳුන්වා දීම ඇතුළු බැංකුව ආරම්භ වූ දා සිට නව්‍යකරණ සේවාවන් රැසක් වෙළෙඳපොලට හඳුන්වා දුන් සම්පත් බැංකුවෙහි තවත් එක් සුවිශේෂී ඩිජිටල් විසඳුමක් ලෙස මෙම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව සඳහන් කළ හැකිය.

    මෙම සේවාවේ සමාරම්භක ගනුදෙනුව සඳහා එක් වූ ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා “වසංගතය අතරතුර ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීම සඳහා රජය විසින් කටයුතු සිදු කරමින් සිටින මොහොතක සම්පත් බැංකුව විසින් වැඩි ආරක්ෂාවක් සහිත කාලෝචිත නව්‍යකරණ සේවාවක් වන සියලු ශ්‍රී ලාංකික බැංකු ගනුදෙනුකරුවන් හට ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව හඳුන්වා දීම සම්බන්ධයෙන් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. කලාපය තුළ මේ ආකාරයේ සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති අතර එය අප සියලු දෙනාට ආඩම්බරයට කරුණක් බවද මතක් කළ යුතුයි. වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අභියෝගයන් ජය ගැනීමට උපකාරී වන මේ ආකාරයේ නව්‍ය විසඳුම් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් රටක් ලෙස අප සියලු දෙනා එක්ව කටයුතු කරමු” යනුවෙන් පවසා සිටියේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “නිරන්තරයෙන් නව්‍ය ඩිජිටල් බැංකුකරණ විසඳුම් සකස් කිරීමට මෙන්ම ඉදිරිපත් කිරීමටද කටයුතු කරන අප යම් යම් ගනුදෙනු සඳහා සෑම විටම මුදල් ආපසු ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව වඩා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඒ පිළිබඳව අපගේ අවධානය යොමු කරමින් අපගේ ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව හඳුන්වා දීමට කටයුතු කළා. මේ ආකාරයේ සේවාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සඳහන් කළ හැකියි”යනුවෙනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ නන්ද ප්‍රනාන්දු මහතා “සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට මෙන්ම දිවයිනේ අනෙකුත් සියලු බැංකුවල ගනුදෙනුකරුවන්ට සම්පත් WePay යෙදුම භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ තිරයේ දිස්වන QR කේතය ස්කෑන් කිරීම තුළින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ හැකියාව දැන් උදා කර දී තිබෙනවා. විශේෂයෙන් වත්මන් ගෝලීය වසංගතය තුළ බැංකු ගිණුම් හා කාඩ්පත් මඟින් මුදල් ලබා ගැනීමේදී සම්පත් WePay හරහා ස්පර්ශයකින් තොරව මුදල් ලබා ගනිමින් තමන්ගේ සුරක්ෂිතතාව හා පහසුව සළසාගන්නා ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට මා මේ මොහොතේ ආරාධනා කිරීමට කැමතියි” යනුවෙන්ද පවසා සිටින ලදී.

    ඕනෑම සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේදී ඔවුන්ගේ සම්පත් WePay යෙදුමෙහි ඇති QR සේවාව තෝරා ගැනීමෙන් පසු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ දිස්වන QR කේතය ස්කෑන් කර තමන්ට අවශ්‍ය මුදල ඇතුළත් කොට එම මුදල ලබා ගන්නා බැංකු ගිණුම හෝ කාඩ්පත තෝරා ගැනීම තුළින් පහසුවෙන් මුදල් ලබා ගත හැකියි. ගනුදෙනුකරුගේ අවසරය මත මෙම පද්ධතිය ක්‍රියාත්මක වන අතර නම් කළ ගිණුමෙන් හෝ කාඩ් පතෙහි අදාළ මුදල් ප්‍රමාණය හර වී ටෙලර් යන්ත්‍රය හරහා මුදල් සැණෙකින් ගනුදෙනුකරු වෙත නිකුත් කරනු ලබයි. සෑම ගනුදෙනුවකටම අදාළ QR කේතයක් ස්කෑන් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ගනුදෙනුකරු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ඉදිරියෙහි සිටීම අවශ්‍ය වන අතර ඒ තුළින් ආරක්ෂාවද මනාව තහවුරු වනු ඇත. 0112 30 30 50 අංකයට ඇමතුමක් ලබා දීම තුළින් ගනුදෙනුකරුවන්ට මෙම සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

    සියලු මූල්‍ය සේවාවන් සහිත ඩිජිටල් මුදල් පසුම්බියක් වන සම්පත් WePay තුළින් Just Pay සහිත ඕනෑම දේශීය බැංකුවකින් සියලු ආකාරයේ මූල්‍ය සේවාවන් ගබඩාකර තබා ගත හැකි අතර ඒ මොහොතේදීම ඔන්ලයින් ගනුදෙනු සිදු කර ගැනීමේ පහසුවද උදා වේ. සමාජ මාධ්‍ය පදනම් කරගත් මුදල් ගනුදෙනු, QR පදනම් කරගත් මුදල් ගෙවීම්, සම්පත් බැංකු සහ තෙවන පාර්ශවීය අරමුදල් මාරු කිරීම්,බිල්පත් ගෙවීම් ඇතුළු තවත් බොහෝ සේවාවන් සිදු කර ගැනීමේ අවස්ථාව මෙම යෙදුම තුළින් උදා කර දී ඇත. එමෙන්ම පරිශීලකයන් හට කිසිවකු සමඟ සම්බන්ධ නොවී මුදල් ගෙවීමේ හැකියාව හේතුවෙන් වසංගත ආසාදනයන්ගෙන් ආරක්ෂා වීමටද අවස්ථාව උදා වේ.

    Apple App Store, Google Play Store සහ Huawei AppGallery වෙතින් සම්පත් WePay යෙදුම නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය. පරිශීලකයන්ට තමන්ගේ ජාතික හැඳුනුම්පතෙහි විස්තර ඇතුළත් කර සම්පත් බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකු ගිණුමක හෝ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක විස්තර යාවත්කාලීන කිරීම තුළින් යෙදුම හරහා ගනුදෙනු ආරම්භ කළ හැකිය. සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ පහසුකම ලබා ගැනීම සඳහා අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන් විසින් Know Your Customer (KYC) ට අදාළ විධිවිධානයන් සම්පූර්ණ කර ඔවුන්ගේ සම්පත් WePay වෙත එක් කළ යුතුය. මෙහිදී සම්පත් WePay සඳහා සම්පත් බැංකුව විසින් වාර්ෂික ගාස්තු, කොමිස් හෝ ගනුදෙනු ගාස්තු අය නොකිරීමද විශේෂත්වයකි.

    සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදවන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකු ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

    ඡායාරූප විස්තරය - ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සම්පත් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ප්‍රථම ස්පර්ශ රහිත මුදල් ආපසු ගැනීමේ ගනුදෙනුව සිදු කළ අයුරු