සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් අතර හමුවක්

    May, 7, 2021

    “ආහාර අංශයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ ගැනුම්කරු හා විකුණුම්කරු අතර හමුවක්” යන මැයෙන් 2021 අප්‍රේල් 27 වැනි දින එන්ටර්ප්‍රයිස් සිංගප්පූරු ආයතනය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

    වෙබ්නාර් සාකච්ඡාවක් ලෙස පැවැති හමුවේදී සිංගප්පූරු ගැනුම්කරුවන් සහ බෙදාහරින්නන් ආකර්ශණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සැපයුම් හැකියාව සහ ප්‍රධාන අපනයන කෘෂි නිෂ්පාදනවල සුවිශේෂත්වය විදහා දැක්වීම සඳහා අවස්ථාව ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මාලනි බැද්දෙගමගේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ සැපයුම් හැකියාව සහ කෘෂි ආහාර නිෂ්පාදන අපනයනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අපනයන නැඹුරු කෘෂි නිෂ්පාදන සඳහා ආයෝජන දිරිගැන්වීම් ඉස්මතු කරමින් ඉදිරිපත් කිරීමක් සිදු කළාය.

    සිංගප්පූරු ව්‍යාපාරික සම්මේලනයේ ගෝලීය ව්‍යාපාර අංශයේ විධායක අධ්‍යක්ෂ සූ වෙයි-චී මහතා සහ මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය මෙම අවස්ථාවේ දී සමාරම්භක අදහස් දැක්වීය.

    සිංගප්පූරුවේ උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් සහ බෙදාහරින්නන් සහ ශ්‍රී ලංකාවේ අදාළ අපනයන සමාගම් සමඟ තනි තනිව හමුවීම් සංවිධානය කරන ලදී. ව්‍යාපාර අන්තර සැසි 20 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පහසුකම් සපයන ලද අතර, සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකා සමාගම්වල ප්‍රධාන පෙළේ සමාගම් 60 ක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය. මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය විසින් මෙම අංගය සඳහා ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරන ලදී.