සියයට 5 බද්ද පුද්ගලික අදහසක් – කැබිනට් ප්‍රකාශක

    September, 14, 2021

    රු. ලක්ෂයට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයින්ගෙන් මාසිකව සියයට 5 ක බද්දක් අය කළ යුතු බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය, ඔහුගේ පුද්ගලික අදහසක් බවත් අඩුම තරමින් එවැනි කරුණක් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවකට හෝ භාජනය නොවූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහල්පෙරුම මහතා කියා සිටියේය. අද (14) පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කළ වීමසීමකට ප්‍රතචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

    "බන්දුල ගුණවර්ධන මගේ මිත්‍ර ඇමතිතුමා පෞද්ගලිකව දක්වපු අදහසක් මිසක්, අඩුම තරමින් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකටවත් එවැනි දෙයක් භාජනය වුණේ නැහැ. එතුමා කිසියම් සාකච්ඡාවක දී එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්න ඇති. එතුමා අපහසුතාවයට පත් කරන්න සූදානම් වෙන්නේ නැහැ. එය එතුමාගේ පුද්ගලික යෝජනාවක්."

    කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය 12 දා විකාශය වූ අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් පැවසීය.

    "අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ, ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් ", යැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.