සීනි, පොල්තෙල් ආනයන වියදම් ඉහළ යාම ගැන මහ බැංකුවත් සෙවිල්ලෙන්

    April, 8, 2021

    2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කර තිබෙන සීනි හා පොල්තෙල් සඳහා වැඩි ආනයන වියදමක් දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

    විදේශ විනිමය පීඩනය හමුවේ ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ දී සිට මෙරටට ගෙන්වන භාණ්ඩ රැසකට ආනයන සීමා පනවන ලදී. ඒ මෙරටින් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය අවම කරලීමේ අරමුණිනි. කෙසේ වෙතත් ඉතා දැඩි ආනයන සීමා පනවා තිබෙන මෙවන් පසුබිමක පසුගිය 2021 ජනවාරි මාසයේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් වේ. එය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20.0 හා සැසඳීමේ දී 186.9% ක ඉහළ යාමක් වේ.

    එසේම මෙම වාර්තාවට අනුව සීනි සහ පොල්තෙල් ආනයන වියදම 2021 ජනවාරි මාසය තුළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ගකර ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 24.6 කින් වැඩි වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවක් දී අද දෙරණ විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගෙන් මෙලෙස සීනි හා පොල්තෙල් ආනයන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ පැවසීය.

    “මෙය අප පමණක් නොවේ, ඉහළ පෙළේ අනෙකුත් ප්‍රතිපත්ති සාදන්නනුත් මොකක්ද මෙහෙම වුණේ කියන එක, ඇයි හේතුව කියන එක තවමත් හොයමින් සිටින ප්‍රශ්නයක්. ඒ නිසා මහ බැංකුව හැටියට අපිට අමුතු පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ගැන සොයා බලමින් සිටින බව තමයි කියන්නට පුළුවන් වෙන්නේ.“