August, 18, 2026
රජයේ සහ අර්ධ රාජ්‍ය අංශය තුළ පරිපාලන කාර්යාල ඉඩකඩ සඳහා පවතින ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම පිණිස සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මුලික අවස්ථාවේදී එකී ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 16.7ක් විය. එකී ව්‍යාපෘතියේ ටැඹ අත්තිවාරම සඳහා සහ උපරිව්‍යුහය සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස මින් පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2021වර්ෂයේදී ආරම්භ කර මහල් 03ක් සම්පූර්ණ වන තෙක් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඉන් අනතුරුව රටේ පැවති ආර්ථික අස්ථාවරත්වය, අමුද්‍රව්‍ය හිඟය, ආනයන සීමා කිරීම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මුහුණ දුන් දුෂ්කරතා මත දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් යුතුව එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇත. එහෙත්, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල කාර්යාල පහසුකම් අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම සඳහා එම ව්‍යාපෘතිය ඒකාබද්ධ මූල්‍යකරණයෙන් යුත් සංවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීම යෝජනා කර ඇති අතර, ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට හඳුනාගනු ලැබ ඇති බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත වෙන් කිරීමට යෝජිත කාර්යාලයීය ඉඩකඩ ප්‍රමාණයට සමානුපාතිකව මූල්‍ය දායකත්වයන් සලසා ගනිමින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් දරා ඇති පිරිවැය, ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු අවසන් කිරීමට වැය කළ යුතු පිරිවැය, අනෙකුත් වියදම් සහ අදාළ බදු ඇතුළුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 38.48ක් ලෙස ගණනය කර තිබේ. ව්‍යාපෘතියේ මුල් විෂයපථයට බලපෑමක් නොවන පරිදි ව්‍යාපෘති ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් කොන්ත්‍රාත්කරු වන M/s Maga Engineering (Pvt) Ltd විසින් ඉතිරි වැඩකටයුතු අවසන් කිරීම සඳහා මූල්‍ය යෝජනාවක් ද ඇතුළත් තාක්ෂණික යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එම යෝජනාව විචලන සමාලෝචන කමිටුව විසින් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු රුපියල් බිලියන 22.76ක (නිම කරන ලද වැඩවල වටිනාකම, පියවිය යුතු ගෙවීම්, අවිනිශ්චිත මුදල්, බදු සහ දෛනික වැඩ රහිත) මුදලකට අවසන් කිරීමට කොන්ත්‍රාත්කරු විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නිම කරන ලද වැඩවල වටිනාකම හා පියවිය යුතු ගෙවීම් ඇතුළත්ව රුපියල් බිලියන 25.58ක මුදලකට (අවිනිශ්චිත මුදල්, බදු සහ දෛනික වැඩ රහිත) M/s Maga Engineering (Pvt) Ltd සමඟ සංශෝධිත ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story