සෙලාන් බැංකුව 2026 වසරේ පළමු භාගය තුළ රුපියල් බිලියන 6.1ක බදු පසු ලාභයක් වාර්තා කරයි

    August, 3, 2026

    • ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 9.3 දක්වා 10.10% කින් ඉහළට
    • බදු පසු ලාභය රු. බිලියන 6.1 දක්වා 10.78% කින් ඉහළට
    • සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 976 දක්වා වර්ධනය වී ඇත
    • හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 14.74%
    • හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03%

    2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ සෙලාන් බැංකුව විසින් රුපියල් මිලියන 9,298 ක ආදායම් බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ පළමු භාගය තුළ වාර්තා වූ රුපියල් මිලියන 8,444 ක ලාභයට සාපේක්ෂව 10.10% ක වාර්ෂික වර්ධනයකි.

    2026 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව සඳහා සෙලාන් බැංකුව රුපියල් මිලියන 6,080 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර, එය 2025 වසරේ එම අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 5,489 ට සාපේක්ෂව 10.78% ක වර්ධනයකි.

    මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

    මෙම වසරේ මුල් භාගය තුළ ශුද්ධ පොලී ආදායම, පසුගිය වසරේ රුපියල් මිලියන 17,762 ක ප්‍රමාණයේ සිට රුපියල් මිලියන 19,560 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ එම් කාලපරිච්ඡේදයට වඩා 10.12% ක වැඩිවීමකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් පසුගිය මාස 12 තුළ සෙලාන් බැංකුවේ මුළු වත්කම්වල සැලකිය යුතු වර්ධනයක් සිදුවීම හේතුවී තිබේ. එනම්, 2025 පළමු භාගය අවසන් වන විට රුපියල් බිලියන 812 ක් වූ අගය, 2026 ජුනි 30 වන දින වන විට රුපියල් බිලියන 976 දක්වා ඉහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2025 වසරේදී වාර්තා වූ 4.50% ක අගයට සාපේක්ෂව, 2026 පළමු භාගයේදී 4.16% දක්වා වෙනස් වී තිබේ.

    මේ අතර, බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම 20.85% ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර එය රුපියල් මිලියන 3,847 සිට රුපියල් මිලියන 4,650 දක්වා වැඩි වී තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවා, ණය සහ අනෙකුත් මූල්‍ය සේවා වලින් ලැබෙන ගාස්තු ආදායම ඇතුළත්ව තිබේ.

    වෙළඳාමෙන් ලැබුණු ශුද්ධ ලාභ/අලාභ, මූල්‍ය වත්කම් ඉවත් කිරීම මගින් ලැබෙන ශුද්ධ ලාභ සහ අනෙකුත් ශුද්ධ මෙහෙයුම් ආදායම් ඇතුළත් අනෙකුත් ආදායම් කාණ්ඩ - ප්‍රධාන වශයෙන් ඉහළ වෙළඳ ධාරිතාවන්ගෙන් ලැබුණු විදේශ විනිමය ලාභ හේතුවෙන්- මෙම කාලය තුළ වැඩි වී තිබේ. කෙසේ වෙතත්, පවතින වෙළඳපොළ පොලී අනුපාත සහ අදාළ මිල උච්ඡාවචනයන්හි බලපෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් සහ කොටස් ආයෝජන මත සටහන් වෙළඳපොළ ලාභ (mark-to-market gains) පහත වැටීමෙන් මෙම වැඩිවීම අර්ධ වශයෙන් පියවී තිබේ.

    බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 25,542 ක් ලෙස වාර්තා වූ අතර එය 2025 වසරේ එම කාලපරිච්ඡේදය සඳහා වාර්තා වූ රුපියල් මිලියන 22,536ක අගයට සාපේක්ෂව 13.34% ක වැඩිවීමකි.

    සමස්ත මෙහෙයුම් වියදම 14.23% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන අතර, ඒ අනුව, 2025 පළමු භාගයේදී රුපියල් මිලියන 10,753 ක් ලෙස සටහන් වූ සමස්ත මෙහෙයුම් වියදම, 2026 පළමු භාගය තුළ රුපියල් මිලියන 12,282 දක්වා ඉහළ ගොස් තිබේ. වාර්ෂික වැටුප් සංශෝධන හේතුවෙන් සේවා නියුක්තිකයින් සඳහා වන වියදම් 12.96% ක අගයකින් වර්ධනය වී තිබෙන අතර, එය රුපියල් මිලියන 5,801 සිට රුපියල් මිලියන 6,553 දක්වා ඉහළ ගොස් තිබේ. ක්ෂයවීම් පිරිවැය සහ ක්‍රමක්ෂය වීම් ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් 15.72% කින් ඉහළ ගොස් ඇති අතර, එමඟින් එම කාලය තුළ පරිභෝජන භාණ්ඩවල සඳහා වූ පිරිවැය සහ අනෙකුත් අදාළ සේවා පිරිවැය ද පිළිබිඹු වේ. පොදුකාර්ය පිරිවැය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා බැංකුව මගින් ඉලක්කගත පිරිවැය ප්‍රශස්තකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යයි.

    2026 වසරේ පළමු අර්ධයේදී බැංකුව විසින් රුපියල් මිලියන 733 ක ණය හා අත්තිකාරම් හානිකරණ වියදමක් (impairment charge) වාර්තා කර තිබෙන අතර එය 2025 වසරේ පළමු අර්ධයේදී වාර්තා වූ රුපියල් මිලියන 419ක අගයට වඩා 74.98% ක වැඩිවීමකි. ගෝලීය හා දේශීය ආර්ථිකයේ වෙනස්කම්, පාරිභෝගික ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ සමස්ත ණය ගුණාත්මකභාවය පිළිබිඹු කිරීම සඳහා ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන ඇති ප්‍රතිපාදනවල ප්‍රමාණවත් බවද එයින් සහතික කර තිබේ. 2026 ජුනි 30 වන දින වන විට හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03% (2025- 1.03%) සහ අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 85.26% ක් වන අතර එය බැංකු ක්ෂේත්‍රයේ ඉහළම අගයන්ගෙන් එකක් වී තිබේ.

    2025 පළමු භාගය සඳහා වාර්තා වූ රුපියල් මිලියන 2,956 ක අගයට සාපේක්ෂව 2026 පළමු භාගය සඳහා වන ආදායම් බදු වියදම රුපියල් මිලියන 3,218 ක් වී තිබේ. එසේම, මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද  රුපියල් මිලියන 2,564 සිට රුපියල් මිලියන 2,833 දක්වා සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 356 සිට රුපියල් මිලියන 396 දක්වා වැඩි වී තිබේ.

    මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

    2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම, රුපියල් බිලියන 921 සිට රුපියල් බිලියන 976 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය මාස හය තුළ බැංකුවේ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර සිටී. 2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ බැංකුව සිය පවතින පාරිභෝගික පදනම රඳවා ගනිමින් නව බැංකු ණය සහ තැන්පතු සේවාවන් ඔස්සේ නව පාරිභෝගිකයින්ද ආකර්ෂණය කොට ගෙන තිබේ. බැංකුවේ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 600 සිට රුපියල් බිලියන 650 දක්වා වර්ධනය වී තිබෙන අතර, තැන්පතු ප්‍රමාණයද රුපියල් බිලියන 733 සිට රුපියල් බිලියන 771 දක්වා වැඩි වී ඇත. එසේම, සිය ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 27% මට්ටමේ පවත්වා ගැනීමට බැංකුව සමත් වී තිබේ.

    ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

    2026 ජුනි 30 වන දින වන විට, ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක ඉතා හොඳ මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමනයේ අවශ්‍ය අවම මට්ටමට වඩා ඉහළින් පැවතුණි. බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) 10.91% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 15.56% ක් වූ අතර එය බැංකුව සඳහා ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් පිළිබිඹු කරයි.

    බැංකුව සිය ද්‍රවශීලතා ආවරණ අනුපාතය ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයට වඩා බෙහෙවින් ඉහළින් පවත්වා ගෙන ගොස් තිබේ. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙලින් 187.03% සහ 175.88% ක් ලෙස පවත්වා ගෙන යෑමට බැංකුව සමත් විණි.

    සමාලෝචනයට භාජනය වන කාල සීමාව සඳහා බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභය 14.74% (2025 – 15.89%) වී තිබෙන අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර ලාභය)1.98% (2025 – 2.31%) ක් වී තිබේ.

    2026 පළමු අර්ධයේදී බැංකුවේ කොටසකට ඉපැයීම් රුපියල් 9.57 ක් වූ අතර, පෙර වසරේ එම කාලපරිච්ඡේදයම තුළ වාර්තා වූ එම අගය රුපියල් 8.63 ක් විය. 2026 ජුනි 30 වන දිනට බැංකුවේ කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 132.87 ක් (සමූහයේ රුපියල් 136.24ක්) වී තිබේ.

    2026 පළමු අර්ධයේදී, සෙලාන් බැංකුව නව “සෙලාන් පැහැසර පුස්තකාල” 5 ක් විවෘත කරමින් තම ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන පුළුල් කළ අතර, එමඟින් ස්ථාපිත කරන ලද මුළු පුස්තකාල සංඛ්‍යාව 294 දක්වා ඉහළ නැංවී තිබේ. දැනුම සහ ඉගෙනුමට තිබෙන සම්පත් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන් දිවයින පුරා අඩු වරප්‍රසාද ලත් පාසල් සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම මෙම මංසළකුණ මගින් ඉස්මතු කර දැක්වේ.

    2025 දී ෆිච් ශ්‍රේණිගත කිරීම් (Fitch Ratings) මගින් සෙලාන් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ප්‍රතිරූපයක් ද සමග A+(lka) දක්වා ස්ථාන දෙකකින් ඉහළ නැංවී තිබේ.